නුවරඑළිය නගරයේ වෙළෙඳ සැල් දෙකක් අද (10) දහවල් ඇති වු ගිනි ගැනීමකින් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.
ආපනශාලාවක් හා ප්ලිස්ටීක් භාණ්ඩ වෙළෙඳ සැලක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර ආපනශාලාවෙන් පළමුව ගින්න හට ගෙන පසුව අනෙකුත් වෙළෙඳ සැළට පැතිරී ගොස් ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
නුවරඑළිය පොලීසිය, නුවරඑළිය මහනගර සභාව හා නගර වැසියන් එක්ව ගින්න වෙනත් වෙළෙඳ සැල්වලට පැතිරී යෑම වැළැක්වීමට පියවර ගැනීම නිසා විශාල විනාශයක් වැළකී ගිය බව නුවරඑළිය නගර වැසියන් පැවසුහ.
මෙම ගිනි ගැනීමට හේතුව හා ගිනි ගැනීමෙන් සිදුව ඇති හානිය මෙතෙක් සොයා ගෙන නොමැති අතර නුවරඑළිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.