නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය වැලැක්වීම වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට නියමිත එන්නත්කරණ වැඩසටහන සඳහා කඩිනමින් වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගෙන ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවැසීය.
නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය වැලැක්වීමේ දිස්ත්‍රික් කමිටුවේදී අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවැසීය.
ඉදිරියේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට කොවිඩ් එන්නත් ලැබීමට නියමිතව ඇති බවත් එම එන්නත් ලබාදීම සඳහා ප්‍රදේශ තෝරා ගැනීමේ කටයුතු රජය විසින් ලබාදී ඇති නිර්ණායකයන්ට අනුව ප්‍රමුඛතා ලැයිස්තු සැකසීම සිදු කරන ලෙස අදාල අංශවලට උපදෙස් ලබාදී ඇති බවද ඒ මහතා කීය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 491 ක වයස අවුරුදු 30 ට වැඩි ජනගහනය 384081 ක් බවට හඳුනාගෙන ඇති බවත් එම පිරිසට මුලින්ම එන්නත්කරණය සිදු කිරීමට බලාපොරොත්තු වන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විදාඥ වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා මෙහෙදී පැවැසීය.
මෙම වැඩපිලිවෙල සඳහා එන්නත්කරණ කණ්ඩායම් 50 ක් යෙදවීමට අපේක්ෂා කරන බවත් එකී කටයුතු සංවිධානය කිරීමට ග්‍රාම නිලධාරීවරුන්, සංවර්ධන නිලධාරීවරුන්, සමෘද්ධි නිලධාරීවරුන් ප්රමුඛ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය.
ප්‍රමුඛතාවය මත තෝරා ගන්නා ප්‍රදේශවල පුද්ගලයන්ගේ ලියාපදිංචි කිරීමට අදාල තොරතුරු එක්රැස් කිරීමේ කටයුතු එන්නත්කරණ වැඩසටහනට ප්‍රථම සිදු කිරීමට සැළැසුම් කරන බවද මධුර සෙනවිරත්න මහතා මෙහෙදී වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ