ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු ඊයේ (21දා) අධිකාරියට පත් කරන ලදී.
ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ 60 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු සිය මූලික පුහුණුව අවසන් කිරීමෙන් පසු මෙලෙස අධිකාරියට පත් වූ අතර, ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැති විචිත්‍රවත් උළෙලකින් පසු ඔවුහු විසිර ගියහ.
ඉන්දීය නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට එක්වූ අතර, පුහුණුවීම් කාලසීමාව තුළදී විශිෂ්ට දක්ෂතා දැක්වූ නිලධාරීන් වෙත එහිදී විශේෂ සම්මාන ප්රදානය කෙරිණි.
ඒ අනුව, 60 වැනි ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් දක්ෂතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත සහ කුසලානය සහ ජල තරණ විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය මධ්‍ය නිලධාරී ඩබ්.කේ.ඒ. ප්‍රියදර්ශන මහතා විසින් හිමි කර ගන්නා ලදී.
මීට අමතරව සියලු විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබා ගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය මධ්‍ය නිලධාරී ඩබ්.ඒ.එස්. දිල්ශාන් මහතා හිමිකර ගත් අතර, මධ්‍ය නිලධාරී ජේ.එම්.කේ. කුමාර මහතා විසින් වෘත්තීය විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් මධ්‍ය නිලධාරියාට හිමි කුසලානය හිමි කර ගත්තේය.
දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මධ්‍ය නිලධාරී ඊ.පී.ටී.පී. ප්‍රියමාල් මහතා විසින් හිමි කර ගත් අතර, මධ්‍ය නිලධාරී කේ.ආර්. හපුආරච්චි මහතා හොඳම ඉලක්කකරුට හිමි සම්මානය හිමි කර ගත්තේය.
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.