නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවකින් තොරව තායිලන්තයේ ෆුකෙට් දූපතට පැමිණි ප්‍රථම ජාත්‍යන්තර සංචාරකයින් පිරිස එරට විසින් සාදරයෙන් පිළිගෙන තිබේ.
කොවිඩ්-19 සමග ජීවත් වීමට ලෝකය ඉගෙන ගන්නා විට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කළ හැකිදැයි සොයා බැලීමේ නිර්භීත අත්හදා බැලීමක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.
"ෆුකෙට් සෑන්ඩ්බොක්ස්" ලෙස නම් කළ මෙම සංචාරක ව්‍යාපෘතිය හරහා ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ 100,000ක් පමණ සංචාරක පිරිසක් දිවයිනට ආකර්ෂණය කර ගැනීමට තායිලන්තය බලාපොරොත්තු වෙයි. එහිදී කිසිදු ආසාදන තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කිරීම බලාපොරොත්තුව වෙයි. නමුදු එසේ වුවහොත් ඒවා දූපත තුළ පමණක් කළමනාකරණය කරගැනීමටද තායිලන්ත බලධාරීන් සැලසුම් කර ඇත.
වෛරසය වළක්වාලීම සඳහා ආරක්ෂාව දැඩි වනු ඇත. සෑම සංචාරකයෙකුටම ඔවුන්ගේ ස්මාට්ෆෝනයට ලුහුබැඳීමේ යෙදුමක් ස්ථාපනය කිරීමට හෝ විද්‍යුත් වළල්ලක් පැලඳීමට අවශ්‍ය වනු ඇත.
ඒ අනුව සියලු සංචාරකයින් ඔවුන්ගේ ස්මාට්ෆෝනයේ ඉලෙක්ට්‍රොනික යෙදුම් මගින් නිරීක්ෂණය කරනු ලබන අතර මෙය මධ්‍යම විධාන මධ්‍යස්ථානයෙන් අධීක්ෂණය කරනු ඇත. ඒ අනුව සෑම සංචාරකයෙකුම මධ්‍යම විධාන මධ්‍යස්ථානයේ ඩිජිටල් සිතියමක කහ පැහැති තිතක් මගින් නිරූපණය කෙරේ. සති දෙකකට පසුව, ඔහු හෝ ඇය ආසාදිත නොවන්නේ නම්, එම තිත කොළ පැහැයට හැරෙන අතර ඔවුන්ට දිවයිනෙන් පිටවී තායිලන්තය තුළ ඕනෑම තැනක සංචාරය කිරීමට නිදහස ලැබෙයි.
ඊට පෙර පවා සංචාරකයින්ට කොන්දේසි කිහිපයක් සපුරාලීමට සිදුවෙයි. එනම් ඔවුන් රටට ඇතුළු වීමට පෙර සම්පූර්ණයෙන්ම එන්නත ලබාගෙන සිටිය යුතුය. එසේම දැනට තායිලන්තය විසින් තම රටට ඇතුළු වීමට අනුමත රටවල් ලැයිස්තුවකින් පැමිණිය යුතුය. එසේම රටට පැමිණීමෙන් පසුවද ඔවුන්ට කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකරන අතර, දූපත තුළ රැඳී සිටින කාලය තුළ පවා යළිත් පරීක්ෂණ දෙකකට භාජනය වීමට සිදුවෙයි.
මෙම සංචාරකයන් පිරිස රැගත් පළමු වැනි ගුවන් යානයෙන් යුරෝපයේ සහ මැද පෙරදිග සංචාරකයන් පිරිසක් පැමිණ සිටි අතර, ගිනි නිවන රථ ඔවුන්ගේ පැමිණීම පිළිගැනීම සඳහා ගුවන් යානයට ජලය ඉසිමින් ආචාරයක් සිදුකළේය.