ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමුවෙයි.
මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන්ගේ යෝජනාවකි. මෙම යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ජාතික නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන් සමඟ ඊයේ (08) සංචාරක අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
වනවාසී රාහුල හිමියෝ මෙම සාකච්ඡාවේදී ඇමතිවරයාට පෙන්වා දුන්නේ ජාතික නාමල් උයන හා රෝස තිරුවානා කන්ද ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සංචාරක ආකර්ශනය ඉහල නැංවීමට හේතුවන බවයි.
ජාතික නාමල් උයනේ හා රෝස තිරුවානාකන්ද ආශ්‍රිතව පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි එය සැලසුම් කලයුතු බව ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර කඩිනමින් පියවර ගන්නා බවයි. පාරිසරික සංචාරක කර්මාන්තය නංවාලීම නව රජයේ එක් අරමුණක් බවත් ඒ අනුව ඉදිරියේදී ජාතික නාමල් උයන වැනි ස්ථාන දෙස් විදෙස් සංචාරකයන්ගේ වැඩි ආකර්ශනයට ලක්වන ලෙස දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.
ජාතික නාමල් උයනේ භාරකාරී වනවාසී රාහුල හිමියන් මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ වැඩිම නා ගස් සංඛ්‍යාවක් ඇති එකම ස්ථානයද මෙය බවයි.එය අක්කර 760කින් සමන්විතය.මෙරටට ආවේණික හා ආවේණික නොවන පක්ෂි වර්ග 18ක් එහි වෙසෙන බවත්, ශාඛා විශේෂ 72ක් හා කෘමී විශේෂ 75ක් ඇති බවත් පරීක්ෂණ මඟින් තහවුරු වී ඇතැයි රාහුල හිමියෝ මෙහිදී පෙන්වා දුන්හ.