ප්‍රේමලාල් ජයසේකර හිටපු ඇමතිවරයාට එරෙහිව රත්නපුර අංක දෙක මහාධිකරණය විසින් දුන් මරණීය දණ්ඩනය තීන්දුවට එරෙහිව අභියාචනයක් 04දා රත්නපුර එම මහාධිකරණය වෙත ගොනුකරනු ලැබීය.
නීතීඥ චන්දික පීරිස් මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතීඥ අනිල්ද සිල්වා මහතා විසින් මෙම අභියාචනා පෙත්සම සකස් කර තිබුණි. චුදිත ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් මහාධිකරණ නඩු විභාගයේදී පෙනී සිටියේද ජනාධිපති නිීතීඥ අනිල් ද සිල්වා මහතාය.
මහාධිකරණයකින් ලබාදුන් තීන්දුවකට එරෙහිව දින දාහතරක් ඇතුළත එම තීන්දුව දුන් මහාධිකරණයටම අභියාචනා ගොනුවක් බාරදියයුතු බව එකී නඩුවේ දෙවන චුදිත වෙනුවෙන ඉදිරිපත්වූ නීතීඥ ප්‍රියන්ත කරුණාතිලක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේය. ඒ අනුව චුදිත ප්‍රේමලාල් ජයසේකර මහතාට එරෙහිව දුන් මරණ දඬුවම් තීන්දුවට එරෙහිව අභියාචනාවක් ගොනු කළ බවද නීතීඥවරයා පැවසුවේය.
මෙසේ ගොනුකරන අභියාචනය අවශ්‍ය ලේඛන අනුව සකසා විමසීම සඳහා කොළඹ අභියාචනාධිකරණයට මහාධිකරණය විසින් නියමිත දින වකවානු වලදී යවන බව කී නීතීඥ ප්‍රියන්ත කරුණාතිලක මහතා අභියාචනය විමසීම සිදුවන්නේ කොළඹ අභියාචනාධිකරණයේදී බවද සඳහන් කලේය.
චුදිත ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් භාරදුන් අභියාචනය රත්නපුර මහාධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් 04දා බාරගනු ලැබීය.
චුදිත විසින් ඉදිරිපත් කළ අභියාචනචේ මුලින්ම ඔහු වරදකරු කළ නඩුවේ අධිචෝදනා සහ සාක්කි ලැයිස්තුව ද පැමිණිල්ලේ සාක්කි විමසීම අවසානයේ විත්තිකරුවන් සිව් දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කර ඇත.
එසේම දඬුවම් නියමූ වු නඩු විභාගයේදී විභාගයේදී අභියාචක චුදිත ඇතුලු චුදිතයන් තිදෙනා විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශත්, අභියාචක චුදිත ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් ඉදිරිපත්කළ සමන් කුමාර සිරිසේන සහ කැලුම් ජනක යන දෙදෙනාගේ සාක්කි සම්බන්ධයෙන්ද කරණු දක්වා තිබුණි.
එසේම චුදිත ප්‍රේමලාල් ජයසේකර වෙනුවෙන් මහාධිකරණයේ පෙනි සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා ඉදිරිපත් කළ වාචික දේශනවල සහ ලිඛිත දේශනවල කරුණු ද මෙහි තීන්දුව 2020-01-07 දින ප්‍රකාශයට පත්කිරිමට නියමිතව තිබී නඩුව විමසූ මහාධිකරණ විනිසුරුවරයාගේ ස්ථානමාරුව හේතුවෙන් එය 2020-07-31 දින දක්වා කල්ගිය බවද සඳහන් වෙයි. එදින මහාධිකරණ විනිසුරුවරයා විසින් දුන් තීන්දුව අනුව අභියාචක චුදිත ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉරිපත් කර තිබූ 6, 7, 8 සහ 9 යන අධි චෝදනා විකල්ප චෝදනා නිසා එකී චෝදනා සම්බන්ධයෙන් ක්‍රියා නොකරන බවද තීන්දුවේ සඳහන්ව ඇතැයි අභියාචනයේ දැක්වෙයි.
1, 2, 3, 4 සහ 5 යන අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති නිසා අභියාචක එම චෝදනා පහටම වැරදිකරු කරන බව තීන්දුවේ සඳහන් වන බව අභියාචන පෙත්සමේ දැක්වේ.
ඒ අනුව පළමුවන චෝදනාවට මාස හයක සිරදඬුවමක් හා රුපියල් 10000ක දඩයක්ද, දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවම් නියම කර ඇති බව ද, දෙවන අධි චෝදනාවට වසර තුනක සිරදඬුවමක් ද, රුපියල් 10000ක දඩයක්ද දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවම් නියම කර ඇති බව ද, තුන්වන අධි චෝදනාවට මරණීය දණ්ඩනය ද, හතරවන අධිචෝදනාවට වසර විස්සක සිරදඩුවමක් හා රුපියල් 10000ක දඩයක්ද, දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවම් නියම කර ඇති බව ද, පස්වන අධිචෝදනාවට ද වසර විස්සක සිරදඬුවම් සහ රුපියල් 10000ක දඩයක්ද, දඩය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවම්ක නියම කර ඇති බව තීන්දුවේ සඳහන් වේ යැයිද අභියාචන පෙත්සමේ දැක්වෙයි.
මෙකී දඬුවම් වලට අමතරව වින්දිතයන් සුරැකීමේ පනතේ 28 වන වගන්තිය සැලකිල්ලට ගෙන මරණකරුගේ ඥාතීන් වෙත රුපියල් ලක්ෂ දෙකක වන්දියක් යැපෙන්නන්ට ගෙවන ලෙස ද, එය නොගෙවන්නේ නම් මාස 24ක බරපතල වැඩ ඇති සිරදඬුවම් ද, එකී පනත අනුව පස්වන හා හයවන සාක්කිකරුන් වෙන්වෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල්ද, ඒ වන්දි මුදල් නොගෙවන්නේ නම් මාස දොළහ බැගින් මාස 24ක බරපතල වැඩ සහිත සිරදඩුවම් ද මහාධිකරණ නඩු තීන්දුවෙන් අභියාචක චුදිතට පනවා ඇති බව ද අභියාචනා පෙත්සමේ සඳහන් වෙයි.
ගරු මහාධිකරණ විනිසුරුතුමාගේ ඉහත තීන්දු නීතියට හා නඩුවේ සාක්කිවලට පටහැනි බවද, සාක්කිවලින් මතුවු කරුණුවලට පටහැනි අනුමිතීන්වලට එළඹීමෙන් යුක්තිය අපගමනය වී ඇති බවද, දඬුවම් නියම කිරීමේදී නෛතික ප්‍රතිපාදන සලකා නැති බවද අභියාචකගේ පෙත්සමේ සඳහන් වෙයි.
එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 140 වගන්තිය යටතේ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වන තැනැත්තෙකුට එරෙහිව ප්‍රතිපෝෂණ වගකීම ඔප්පුකළ යුතු නීතිමය කරුනු කිසිවක් ඔප්පු කර නොමැතිව තිබියදී අභියාචක චුදිත වරදකරු කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ද, අභියාචක චුදිතගේ පෙත්සමේ සඳහන් වෙයි.
එසේම නඩු විභාගයේදී චුදිත වෙනුවෙන් ඉදිරිපත් කළ වාචික සහ ලිඛිත කරුණු කිසිවක් සැලකිල්ලට ගෙන නොමැති බව ද, සීසීටීවි කැමරා දර්ශන සාක්කි කාර්ය පරිපාටියකින් තොරව ඉදිරිපත් කර ඇති බවද එහි සඳහන් වෙයි. මහාධිකරණ විනිසුරුවරයා අභියාචක චුදිත වරදකරු කළ නඩු තීන්දුවේ තවත් කරුණු රාශියක් වෙන් වෙන්ව ඉදිරිපත් කරමින් එකී තීන්දුවේ වරදකරු කිරීමේ නියෝගය ඉවත්කර නිදොස්කොට නිදහස් කරන්නැයි අභියාචක චුදිත සිය අභියානා පෙත්සමෙන් ඉල්ලි සිටී.
අජිත්ලාල් ශාන්තඋදය