දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට මෙරටට ගෙන ආ ශ්රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සිව් දෙනා අද දින අලුයම 5.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්රී ලන්කන් ගුවන් යානා දෙකකින් පැමිණ තිබුණි .
මෙයින් පළමු ගුවන් යානය ඩුබායි සිට පැමිණි යූ.එල්.- 226 දරන වන අතර, අනෙක අබුඩාබි සිට පැමිණි යූ.එල්. - 208 දරන ගුවන් යානයයි.
ඩුබායි සිට පැමිණි ගුවන් යානයේ මහනුවර, අස්ගිරිය ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක යුවළක් මෙම දුම්වැටි තොගය සමග අත් අඩංගුවට ගෙන ඇති අතර , අබුඩාබි සිට පැමිණි ගුවන් යානයෙන් පැමිණි 40 හැවිරිදි අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචි පිරිමි ගුවන් මගියෙකු සහ එම ගුවන් යානයෙන්ම පැමිණි මාතලේ ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් ද රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් විසින් මැදපෙරදිග රටවල නිෂ්පාදනය කරන දුම්වැටි වර්ග 4 කට අයත් , රුපියල් 45 ලක්ෂයක් පමණ වටිනා, දුම්වැටි 90,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 454 ක්, ගමන් මලු 08 ක සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් ඩී.ජී.සේනානායක මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු නිළධාරීන් විසින් පවත්වමින් සිටිති.
කටුනායක ටී.කේ.ජී.කපිල