මත්ලෝලීන් සදහා අධිවේදනා නාශක ඖෂධ වර්ගයක් අධික මිල ගණන් යටතේ අලෙවි කළ බව කියන ෆාමසිකරුවෙක් ගම්පහ පොලිස් දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වෛද්‍යවරයෙකුගේ නියමයකින් තොරව කිසිසේත්ම අලෙවි කළ නොහැකි බව කියන මෙම ඖෂධ වර්ගය මත්ලෝලීන් සදහා අධික මිල ගණන් යටතේ අලෙවි කරනු ලබන බවට පොලිස් බුද්ධි අංශයට සහ " පොලිස්පතිට කියන්න " යන දුරකථන අංකයට ලද තොරතුරු මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදුකළ පරීක්ෂාවකදී මොරගොඩ ප්‍රදේශයේදී ෆාමසිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් උපායදූතයෙකු යොදවා වෛද්‍ය නිර්දේශයක් නොමැතිව එම ඖෂධය ලබා ගෙන ඇති අතර ෆාමසියෙහි ඇතුලත වෙනම කොටසක තබා ගනිමින් වැඩි මිලකට මේවා අලෙවි කළ බව පොලීසිය පවසයි.
මෙම අධිවේදනා නාශක ඖෂධ වර්ගය පෙති 30ක් සහිත ඇසුරුමක් රුපියල් 850 පමණ වන වන නමුත් මෙම ෆාමසියෙහි එම ඇසුරුමක් රුපියල් 1,500 ක් වැනි මිලකට අලෙවි කොට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
මෙහිදී අධිවේදනා නාශක පෙති 400 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
වෙනත් අයෙකුගේ ඖෂධවේදී සහතිකයක් භාවිතා කරමින් මෙම ෆාමසිය පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණයවී ඇතැයි පොලීසිය පවසන අතර මෙහිදී කලක පටන් මත්ලෝලීන්ට අනවශ්‍ය පරිදි ඖෂධ නිකුත් කොට ඇති බවටද සැක කරයි.
ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ ෆාමසිකරු අත්අඩංගුවට ගැනීම පිණිස උපපොලිස් පරීක්ෂක ලහිරු ඔසද මහතා සහ කොස්තාපල් මධූෂ (32522) කටයුතු කොට ඇති අතර සැකකරු අද (6) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගම්පහ - තිලකරත්න දිසානායක