නාකොටික් නිලධාරීන් සමග එක් වී හෙරොයින් ජාවාරමේ යෙදුණු චමින්ද දයා ප්‍රියංකර මල්ලවආරච්චි හෙවත් 'ටයිල් චමින්ද' නැමති සැකකරුගේ ගිණුමට රුපියල් මිලියන තුන්සිය හැත්තෑ තුනයි හත්ලක්ෂ විසිපන්දහස් තුන්සිය හතරක් බැරවී තිබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය අද (22දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.
හෙරොයින් ග්‍රෑම් 500ක් සමග මිනුවන්ගොඩ පොලීසිය මගින් ජූනි මස 12 වැනිදා අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ, යටියන පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන අරඹා ඇතැයි අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය අද (22දා) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.
විදේශගතව සිටින කටුනායක, කුරණ, හමුදා කඳවුර පාරේ පදිංචි සුරසිංහ ආරච්චිලාගේ ගිහාන් ෆොන්සේකා නැමැති අය හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාර ගතව සිටියදී ටයිල් චමින්ද නැමැත්තා මීගමුව බන්ධනාගාරයේදී ගිහාන් ෆොන්සේකාව හමු වී ඇති බවත්, ගිහාන් ෆොන්සේකාගේ උපදෙස් මත චමින්ද නැමැති සැකකරු 2018 වර්ෂයේ ජූනි මස 20 වැනි දින දිවුලපිටිය නගරයේ පිහිටි පුද්ගලික බැංකුවක ගිණුමක් අරඹා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (මූල්‍ය) නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කළේය.
2018/ජූනි/20 සිට 2020/ජූනි/15 වැනිදා වනවිට රුපියල් තුන්සිය හැත්තෑ තුන් මිලියන හත්ලක්ෂ විසිපන්දහස් තුන්සිය හතරක මුදලක් දිවයිනේ විවිධ ප්‍ර‘දේශවලින් එම ගිණුමට බැරවී ඇති බවත්, විවිධ ප්‍ර‘දේශවලින් එම ගිණුමට බැරවන මුදල් ගිහාන් ෆොන්සේකාගේ උපදෙස් මත සැකකාර ටයිල් චමින්ද විසින් තෙවැනි පාර්ශ්වයකට ලබාදී ඇති අතර, 2020/ජූනි/15 වැනිදා වනවිට එම ගිණුමේ තිබු අවසාන ශේෂය රුපියල් එක්ලක්ෂ අසූ තුන්දහස් හාරසිය අසූ අටක් බවත් අනාවරණය වී තිබේ.
එම ගිණුමෙන් 2020 ජූනි මස 12 වැනිදා මිනුවන්ගොඩ නගරයේ පිහිටි පුද්ගලික බැංකුවකකට චෙක්පතක් මගින් රුපියල් දසලක්ෂ හැට දහසක් බැරවී ඇති බවත්, එම මුදල බැරවී ඇත්තේ සැකකාර චමින්දට අයත් ගිණුමකට නොව වෙනත් නමක් ඇති අයෙකුගේ ගිණුමකට වන අතර, එම බැංකු ගිණුම් දෙක අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව එම ඒකකයේ ඉල්ලීම මත බස්නාහිර පළාත් බද මහාධිකරණය මගින් එම ගිණුම් දෙක අත්හිටුවා ඇති බවත් අධිකරණයේදී සඳහන් විය.
තවද ගිහාන් ෆොන්සේකා නැමැති අය ඩුබායිහි සිටින බවට සැකකාර චමින්ද ප්‍රකාශයක් ලබාදී ඇතත්, ගිහාන් ෆොන්සේකා විදේශ ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන විදේශ ගතවී නොමැති බව අනාවරණය වී තිබේ. සැකකාර ටයිල් චමින්ද නැමැත්තා දාගෝල්ල ප්‍ර‘දේශයේ වෙන්දේසි කරන ඉඩමකින් කැබලි 03ක් වෙන් කරගෙන ඒ සඳහා රුපියල් හත්ලක්ෂ පනස් දහසක් ගෙවීම් කර ඇති බවත් අනාවරණය වී තිබේ.
සැකකාර ටයිල් චමින්දගේ දිවුලපිටියේ පිහිටි බැංකු ගිණුමට දංකොටුව ප්‍ර‘දේශයේ පදිංචි අයෙකුගේ ගිණුමකින් අවස්ථා 10කදී රුපියල් හතලිස් හත් ලක්ෂ තිස්දහසක මුදලක් ලැබීම සම්බන්ධව විමර්ශන සිදුකළ බවත්, හෙරොයින් ජාවාරම්කරුවෙකු තැරැව්කාර ගිණුම්හිමියා මගින් සැකකාර චමින්දගේ ගිණුමට මුදල් බැර කරවන අතර, ඒ සඳහා හෙරොයින් ජාවාරම්කරු ගිණුම් හිමියාට මාසයකට රුපියල් 15000ක් බැගින් ගෙවා ඇති බවත් අනාවරණය වී තිබේ.
ගම්පහ ටෝනි කරුණානායක