දකුණු ආසියානු කලාපයේ සෑම තත්ත්පරයකටම නව කොවිඩ්-19 ආසාදිතයන් තිදෙනෙකුට වඩා සහ සෑම විනාඩියකටම ආසාදිත මරණ තුනකට වඩා වාර්තා වන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසයි.
ඒ අනුව ලෝකයේ දෛනිකව හඳුනා ගන්නා නව කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් අඩක් පමණ බිලියන 2ක ජනතාවක් වාසය කරන දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන අතර, මරණ අනුපාතයද ශීඝ්‍රයෙන් ඉහළ යන බවද ඔවුන් පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ දකුණු ආසියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මාරාන්තික කොවිඩ්-19 රැල්ලෙන් ජීවිත බේරාගැනීමට සහායවීම පිණිස ඔක්සිජන් සහ රෝග පරීක්ෂණ කට්ටල සැපයුම්, වෛද්‍ය උපකරණ, පෞද්ගලික ආරක්ෂණ කට්ටල සහ ආසාදනය වීම වැළැක්වීම හා පාලනය කිරීමට අවශ්‍ය ආධාරක මිලදී ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලට ඇ.ඩො. මිලියන 164ක් වහාම අවශ්‍ය වී තිබේ.
"අතිශයින් වේගවත් පරිමාණයකින් පැතිර යන නව කොඩිඩ්-19 රැල්ල රටවල්වල දැනට පවත්නා ජීවිත බේරාගැනීමේ ප්‍රතිකාර පහසුකම් අභිභවා යමින් පවතිනවා" UNICEF දකුණු ආසියාව සඳහා වූ කලාපීය අධ්යක්ෂ ජෝර්ජ් ලාර්යෙයා අඩ්ජෙයි පැවසීය. "රෝහල්වලට දරාගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන අතර, ඔක්සිජන් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් හිගයක් සමග දුර්වල වී තිබෙන සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ අවදානමක් පවතිනවා."
වසංගතයේ පළමු රැල්ලේදී සෞඛ්‍ය සේවාවන්ට ඇතිවූ බරපතළ අහිතරකර බලපෑම් හමුවේ දකුණු ආසියාව පුරා ආසන්න වශයෙන් ළමයින් 228,000ක් සහ මව්වරුන් 11,000 ක් මරණයට පත්විණි. "අපි දැන් මුහුණදී සිටින්නේ පළමු වර සිදුවූ ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි දරුණු තත්ත්වයකටයි. ළමයින් සහ මව්වරුන්ගේ ජීවිත සුරැකීමට ඉමහත් දායකත්වයක් ලබාදෙන අතිශය වැදගත් සෞඛ්‍ය සත්කාර සේවාවන් අඛණ්ඩව පවත්වා ගනිමින් කොවිඩ්-19 වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීමට අපි අපට සිදුකළ හැකි සෑම දෙයක්ම කළ යුතුයි" කලාපීය අධ්යක්ෂ වැඩිදුරටත් පැවසීය.
කොවිඩ්-19 වසංගතය නිසා මෙතෙක් සිදුවූ වැඩිම දෛනික මරණ ගණන මැයි 18දා ඉන්දියාවෙන් වාර්තා වූ අතර, එය 4,529ක් විය. අසල්වැසි නේපාලයේ කොඩිඩ්-19 ආසාදිතවූවන් ලෙස හඳුනා ගන්නන්ගේ ප්‍රතිශතය 47%ක් තරම් ඉහළ අනුපාතිකයක් වේ. මේ අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයින් සහ මරණ ඉහළයමින් තිබෙන අතර මාලදිවයිනේ අගනුවර රෝහල් ධාරිතාව උපරිමයට ළඟාවී තිබේ. බංග්ලාදේශය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, භූතානය යන රටවලද මෙවැනිම දරාගත නොහැකි තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. මාලදිවයින සහ භූතානය හැරුණු කොට මෙම කලාපයේ අනෙකුත් සියලුම රටවල් කොවිඩ්-19 ට එරෙහිව එන්නත් ලබාදී ඇත්තේ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් පුද්ගලයකුටත් අඩු ප්‍රමාණයකටය.