දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමාට එරට ඉහළම අධිකරණය විසින් මාස 15ක සිර දඬුවමක් නියම කර තිබේ.
එරට පොලීසිය වෙත භාරවීම සඳහා ඔහුට දින පහක කාලයක් ලබා දී තිබේ. එය අසාර්ථක වුවහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් ඇමතිවරයා නියෝග කළ යුතු බවද අධිකරණය දන්වා ඇත.
ඔහු ජනාධිපති ධුරයේ සිටියදී දූෂණ සිද්ධියක් සම්බන්ධ පරීක්ෂණයකට පෙනී සිටීමේ නියෝගය නොසලකා හැර තිබේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඔහුට එල්ල කරමින්, මෙසේ හිටපු නායකයා වරදකරු කර දඬුවම් නියම කර තිබේ.
2018 දී සිය ධුරයෙන් ඉවත් වූ සූමා තමා එරට ජනාධිපති ධුරය දැරූ සමයේදී විවිධ චෝදනාවන්ට ලක්වූවෙකි.
"සූමා, හිටපු ජනාධිපතිවරයා සිරගත කිරීම හැර වෙනත් විකල්පයක් මට ඉතිරිව නැහැ. එසේ කිරීමෙන් නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීම ගැන නිසැක පණිවුඩයක් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව පවතිනවා." තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මෙම තීන්දුව විභාග කරන අවස්ථාවේදී පවා උසාවියේ නොසිටි අතර, ඔහු මෙය යෝධ දේශපාලන කුමන්ත්‍රණයක් බවට නැවත නැවතත් ප්‍රකාශ නිකුත් කිරීමක් සිදුකර තිබුණි.