පසුගිය කාලයේදී මෙරට තුළ සිදු වී තිබෙන දූෂණ, වංචා සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදීමට රටේ පවතින නීති ප්‍රමාණවත් නොවන නිසා ඊට අදාළ නීති සකස් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
ඊයේ (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වර්තමාන ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට යම් යම් පිරිස් චෝදනා කළද පොල් ගෙඩියක් හොරකම් කළ පුද්ගලයෙකු අල්ලාගන්නා ආකාරයට මෙගා ඩීල් කර තිබෙන පිරිස්වලට එරෙහිව ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කළ නොහැකි බවයි.
රට තුළ පසුගිය කාලයේ සිදුකළ වංචා, දූෂණ හෙළි කරගැනීම සඳහා විදේශීය විශේෂඥ සහාය ලබාගැනීමට කටයුතු කරන බවත්, ඉන්පසුව රට තුළ පවතින නීතියට අනුව අදාළ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ නිසා වර්තමාන ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, පසුගිය කාලයේදී මෙගා ඩීල්වල යෙදුණු සියලු දෙනාටම රටේ පවතින නීතියට අනුව දඬුවම් ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.