ගතවූ වසර 35 තුළ බිහි වූ සියලු රාජ්‍ය නායකයින් පැල්පත්වාසීන්ට දුන් නිවාසවලට වඩා දස ගුණයක් නිවාස අපි නිහඬවම දුන්නා.
කොළඹ පදනම් ආයතනයේ පැවැති විශේෂ හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
මෙම ඉදිරි වසර රටට ඉතා තීරණාත්මක වසරක්. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. පක්ෂ අතර එකඟතාවයක් ආවොත් පළාත් සභා මැතිවරණය තියන්න නියමිතයි. ඇතැම් විට පාර්ලිමේන්තුව අවුල් සහගත වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්න නියමිතයි.
ඒ වගේම ජනාධිපතිවරණයෙන් පසුව අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. 2019 වසර රටේ කඩඉම් වසරක්. රටේ පාලන ක්‍රමය අනාගතයට ගමන් කිරීම පිළිබඳව වූ වැදගත් වූ වසරක්. මේ කඩඉම් වසරේ අපේ ඉලක්ක අපි පැහැදිලි කර ගත යුතුයි.
අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ රටේ ප්‍රධාන ප්‍රතිපත්ති 3 ක් කරලියට ගෙන එන්න දැන් ඉතාමත්ම අවශ්‍ය යුගය කාලය එළැඹිලා තිබෙනවා. පළවෙනි කාරණය තමයි මේ රටේ ඉතාමත් දුක්ඛිත භාවයට, අසරණ භාවයට, මිනිස් දුහුවිලි බවට පත්කර තිබෙන ජන කණ්ඩායම් ජීවත් වෙනවා.
ඒ ජන කණ්ඩායම්වලට මනුෂ්‍යත්වය ලබාදීමේ ජනබල ගැන්වීමක් අප විසින් සිදු කළ යුතුයි. අපි ලොකු සද්ද බද්ද නැති උනාට අපේ අමාත්‍යාංශය මගින් පසුගිය කාලයේ කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් අපි ගෙන ගියා.
ඒ නිවාස ගැන මම කිව්වොත් පසුගිය අවුරුදු 35 තුළ ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, රණසිංහ ප්‍රේමදාස, ජෙ.ආර්. ජයවර්ධන, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ මේ සියළුම දෙනා හදපු නිවාසවලට වඩා දස ගුණයක් අපි කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට නිවාස හදලා දීලා තිබෙනවා.