දේශීය ආයුර්වේද ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සංකූලතා අවම බව නිරීක්ෂණයට ලක්වුණු බවද, එම ජයග්‍රහණය ලබාදීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් සමත් වූ බවද දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (31) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
අප රටෙහි ආයුර්වේද රෝහල් පද්ධතිය කොරෝනා මර්දනය සඳහා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කළ බවත්, ඒ අනූව මේ වන විට එවැනි රෝහල් 13ක් පමණ ක්‍රියාත්මක වන අතර, තවත් රෝහල් 05ක් ඉදිරි සතිය තුළ මෙයට සම්බන්ධ වන බවද ඔහු සදහන් කළේය.
දැනට 5858ක් පමණ රෝගීන් මෙම රෝහල් සඳහා ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් 4720කට අධික ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා සුවව නිවෙස් බලා ගොස් ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙලෙස ප්‍රතිකාර කිරීමේදී මෙම කොරෝනා රෝගීන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට ලක්වන අතර දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් සමඟ බටහිර වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර ලබාදීම සිදුකරන බවද, ඒ සඳහා බටහිර වෛද්‍යවරුන්ගෙන්ද විශාල සහයක් හිමිවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.