දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා රුපියල් ලක්ෂ තුනක ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ලකා පළා ගිය සිවු දෙනෙකුගේ කණ්ඩායමක් සහ මෝටර් රථයක් අල්ලා පොලීසියට භාරදීමට ගලේවෙල මාදිපොල හතේ කණුව ප්‍රදේශවාසීන් පිරිසක් ක්‍රියාකළ බව ගලේවෙල පොලීසිය පවසයි.
ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මාදිපොළ හතේ කනුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට 12 දින පස්වරුවේ මෝටර් රථයකින් පුද්ගලයන් 4 දෙනෙකු පැමිණ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බව පවසා එම නිවසේ තිබූ මුදල් එක්ලක්ෂ විසිදාහක් සහ රන් ආභරණ තොගයක් කොල්ලකා පළාගොස් තිබේ.
මෙම නිවැසියන් ඔවුන් පළා ගිය පසු සැකසිතී ප්‍රදේශවාසීන් හා එක්ව යතුරුපැදිවලින් මෙම මෝටර් රථය ලුහුබැඳ පැයක පමණ කාලයකට පසු ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශය දී ටිපර් රථයක් ප්‍රධාන මාර්ගයට හරස්කොට නවතා මෝටර් රථය නවතා ගොකරැල්ල පොලීසියට පිරිස භාරදී ඇති බව ගලේවෙල පොලීසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් බදුල්ල ,දකුණු කළුතර, කටුගස්තොට. ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම අපරාධ කල්ලිය මෙහෙයවු ප්‍රධාන සැකකරු සහරාන් නැමැති අයෙකු බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබේ.
අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙකු දකුණු කළුතර ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අයෙකු බවත් පොලීසිය කියයි. මෙම පිරිස සඳහා උදවු කළ තවත් පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව පොලීසිය විමර්ශන කටයුතු ආරම්භ කොට තිබේ .අත්අඩංගුවට ගත් පිරිස අතර සිංහල ජාතිකයන් තිදෙනෙක් සහ එක් මුස්ලිම් ජාතිකයකු ද වෙයි.
බදුල්ල ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් මෝටර් රථය ලබාගෙන ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස වෙස්වලාගෙන නිවෙස් වලට පැමිණ මුදල් මංකොල්ලකෑම කාලයක් තිස්සේ සිදුකරගෙන යන කණ්ඩායමක් බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
සිද්ධියට මුහුණ දුන් නිවැසියන් කියා සිටියේ මෙම පිරිස ඉතා දැකුම්කළු ආකාරයෙන් ටයි පටි පැළඳ තම නිවසට පැමිණ හැඳුනුම්පතක්ද පෙන්වා තමන් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බවත් රුපියල් ලක්ෂ 40 ක පමණ ආදායම් බදු ගෙවිම් පැහැර හැර තිබෙන බවටද චෝදනා කරමින් නිවැසියන් සියලු දෙනාම සල්ලි වාඩි කරවා නිවස පරීක්ෂාවට ලක් කොට නිවසේ කාමරයක තිබූ මුදල් ලබාගත් බවත් පසුව ව්‍යාපාරිකයාගේ දියණියගෙ කාමරයට ගොස් දියණියගේ රන් මාලයක් සහ මුදල්ද පැහැරගෙන ගිය බව පවසති.
මේ පිළිබඳව සැක සිතී ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයාගේ පුතා යතුරුපැදියකින් ලුහුබැඳ මෙම පිරිස සිංහල මිතුරන්ගේ සහයෝගය ඇතිව අල්ලා ගැනීමට හැකි වූ බව ඔවුන් කියති.
සැකකරුවන් ගොකරැල්ල පොලීසිය මගින් අද (13) දින අලුයම ගලේවෙල පොලීසියට භාරදී තිබේ. ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන් පෙරේරා මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් මෝටර් රථය සහ සොයාගත් මුදල් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස