ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරුබද්දක් පැනවීමෙන් අනතුරුව දේශීය අර්තාපල් කිලෝවක් මේ වන විට රුපියල් 140ත්, 160ත් දක්වා මිලකට දේශීය ගැනුම්කරුවන් විසින් මිලදී ගනු ලබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යංශය පවසනුයේ, දේශීය අර්තාපල් ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා ඉතිහාසයේ මෙතෙක් ලද ඉහළම මිල මෙම අස්වනු නෙළීමේ කාලය තුළදී ලැබී ඇති බවයි.
ඒ අනුව ඇතැම් විට ප්‍රමාණය ඉක්ම වූ අර්තාපල් අස්වැන්නක් ලැබණද, දේශීය අර්තාපල් කිලෝවක ගැනුම් මිල රුපියල් 100ත්, 120ත් දක්වා අතරමැදි තත්ත්වයක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.
අර්තාපල් අස්වනු නෙළා ගැනීමට මසකට පමණ පෙර සිට ආනයනකරුවන් විසින් විදේශීය අර්තාපල් තොග මෙරටට ගෙනැවිත් ගබඩා කර තබා ගැනීම හරහා දේශීය නිෂ්පාදන අවම මිලකට මිලදී ගැනීමට පුරුදුව සිටින බව පෙන්වා දෙන කෘෂිකර්ම අමාත්‍යාංශය, ඒ අනුව මෙවර දේශීය අර්තාපල් අස්වනු නෙළා ගැනීමට මාස එකහමාරකට පෙර ආනයනික අර්තාපල් කිලෝවකට රුපියල් 40ක තීරු බද්දක් පැනවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් බවත්, එසේම සහල් ආනයනය අවම කිරීම සඳහා ශත 25ක්ව තිබූ බද්ද රුපියල් 70 දක්වා වැඩි කර ඇති අතර, එමගින් දේශීය වී ගොවියාට ඉහළ මිලක් ලබාදීම රජයේ අරමුණ වී ඇති බවත් සඳහන් කරයි.
මේ වන විට යල කන්නයේ වී වගාවේද අස්වනු නෙළා ගන්නා අතර, වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 38ක් හා රුපියල් 41ක් වශයෙන් වී මිලදී ගැනීම හේතුවෙන් පෞද්ගලික අංශයේ වී මිලදී ගන්නන් විසින් වී කිලෝවක් වී අළෙවි මණ්ඩලය විසින් ගෙවන මුදලට වඩා රුපියල් 10ක් පමණ වැඩි වශයෙන් ගෙවා ගොවීන්ගෙන් වී මිලදී ගන්නා බව සඳහන්ය.
කෙසේ වුවද, දේශීය ගොවියා ආරක්ෂා කිරීමට රජය විසින් මෙම පියවර ගන්නා බවට ප්‍රකාශ කරන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ඉදිරියේදී බඩඉරිඟු සහ ලූනු සඳහාද මෙවැනි පියවරක් අනුගමනය කරන බවත්, එමගින් දේශීය ගොවියා ශක්තිමත් කර, ඔවුන් තවදුරටත් වගාව සඳහා උනන්දු කර වීම රජයේ අරමුණ වන බවත් පවසයි.