එක්සත් ජනපද කැපිටල් හි පසුගිය ජනවාරි 6 වැනි දින ඇති වූ මාරාන්තික කෝලාහලයට උසිගැන්වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් වැරදිකරු නොවන බවට ඡන්දය දෙමින් එරට සෙනෙට් සභාව අද (14දා) ඔහුට එරෙහිව එල්ල වූ දෙවැනි ඓතිහාසික දෝෂාභියෝග නඩු විභාගයෙන්ද හිටපු ජනාධිපතිවරයාව නිදොස් කොට නිදහස් කරන ලදී.
මෙවර ඡන්ද විමසීමේදී ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් සෙනෙට් සභිකයින් හත්දෙනෙකුද සමග ඔහු වැරදිකරු බවට ඡන්ද 57ක් ලැබුණු අතර, ඔහු නිවැරදිකරු බවට ලැබී තිබුණේ ඡන්ද 43කි. කෙසේ වෙතත් දෝෂාභියෝගය සම්බන්ධයෙන් ට්‍රම්ප් වරදකරු කිරීම සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට අපොහොසත් වීමෙන් (ඡන්ද 67ක් අවශ්‍ය වෙයි) ඔහු යළිත් වරක් මෙසේ නිදොස් පුද්ගලයෙකු බවට පත්විය.
දෝෂාභියෝග නඩු විභාගයෙන් දෙවන වරටත් දිවි ගලවා ගැනීමෙන් පසුව ට්‍රම්ප් සුපුරුදු වාග් විලාශයෙන් සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ මෙලෙසිනි.
"ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අපගේ ඓතිහාසික, දේශප්‍රේමී හා සුන්දර ව්‍යාපාරය දැන් ආරම්භ වී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ මට ඔබ සමග බෙදා ගැනීමට බොහෝ දේ තිබෙනවා. අපගේ සියලු ජනතාව සඳහා ඇමෙරිකානු ශ්‍රේෂ්ඨත්වය ළඟා කර ගැනීම සඳහා අපගේ ඇදහිය නොහැකි ගමන ඉදිරියට ගෙන යාමට මා බලාපොරොත්තු වෙනවා." ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දෙවරක් දෝෂාභියෝගයකට මුහුණදුන් එකම ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ය. නමුත් ඒ අවස්ථා දෙකේදීම ඔහුව පරාජයට පත්කිරීමට නොහැකි විය. පළමු දෝෂාභියෝගයේදී ඔහු බලයේ සිටියත්, දෙවැනි දෝෂාභියෝගයේදී බලයක් නොමැතිවද ඔහු එය ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි. ජනවාරි 6දා කැපිටල් හි සිදුවූ ප්රජාතන්ත්ර විරෝධී, මාරාන්තික හැසිරීම ට්‍රම්ප් විසින් මෙහෙය වූ බවට ලෝකයටම පැහැදිලි වූවද, ඇමෙරිකාවේ මහා ප්රජාතන්ත්රවාදයට එය පැහැදිලි නොවීම පුදුමයට කරුණක් බව ලෝක දේශපාලන විචාරකයෝ පවසති.