ගුරුවරුන්ට පවතින ගැටලු සම්බන්ධ ව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනු මිසක රටේ අහිංසක දූ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමෙන් ඔවුන්ගෙන් පළිගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසී ය.
අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ අද (14දා) පෞද්ගලික ආයතනවල ප්‍රතිපාදන අනුව ගාල්ල අඟුලුගහ මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් සහ පරිගණක විද්‍යාගාරයක් ලබාදීමේ වැඩසටහනට එක්වීමෙන් අනතුරු ව මාධ්‍ය අමතමිනි.
එන්නත්කරණයෙන් අනතුරුව සෞඛ්‍ය නිර්දේශවලට අනුව හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම සිදුකළයුතු ය යන්න රජයේ ස්ථාවරය වන අතර ඊට ප්‍රථම දැනට අධ්‍යාපන කටයුතු සිදු කෙරෙන දුරස්ථ/මාර්ගගත කටයුතු සඳහා ප්රවේශයේ පවතින ගැටලුව විසඳීම පිණිස රට පුරා සම්පත් මධ්‍යස්ථාන 2096ක් විවෘත කොට තිබේ.
පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු සහ දේශපාලන අධිකාරිය ද ඒකාබද්ධ ව එම සම්පත් මධ්‍යස්ථාන තෝරාගනු ලබන අතර ටැබ් යන්ත්‍ර, ලැප්ටොප් යන්ත්‍ර ඇතුලු පහසුකම් එම මධ්‍යස්ථාන වෙත යවා තිබේ.