දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුදය හමුවේ ගෑස් බෙදාහැරීමේ කර්මාන්තය බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා එල්.පී. ගෑස් බෙදාහරින්නන්ගේ සංගමය අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් පසුගිය 26දා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමය විසින් මෙම කරුණු අනාවරණය කරන ලදී. මෙම වත්මන් අර්බුදය සඳහා අදාළ බලධාරීන් නිසි පියවරක් නොගැනීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් ඔවුන් පවසයි. ශ්‍රී ලංකා එල්.පී. ගෑස් බෙදාහරින්නන්ගේ සංගමයෙහි ගෑස් බෙදාහරින්නන් 35 දෙනෙකු මෙන්ම, අලෙවි නියෝජිතයන් 8,000කට අධික පිරිසක් සිටින අතර ගෑස් බෙදාහැරීමේ කර්මාන්තයෙන් යැපෙන්නන් සංඛ්‍යාව 75,000ක් ඉක්මවන බවද පෙන්වා දෙන ඔවුන්, කර්මාන්තය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය එම පිරිස්වල ජීවන තත්ත්වය කෙරෙහිද සෘජුව බලපාන බව අවධාරණය කරයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතු කිහිපයක් පිළිබඳව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩී.පී. සෝමදාස මහතා කරුණු ගොනු කරමින්, ඩීසල් මිල රු.123ක් දක්වා ඉහළ යාම නිසා ප්‍රවාහන ගාස්තු ශීඝ්‍ර ලෙස ඉහළ යාම, වාහන අමතර කොටස්වල මිල ඉහළ යාම, ටයර් සහ ඔයිල් වර්ගවල මිල ගණන් ඉහළ යාම මෙන්ම මානව සම්පත්හි මිල ඉහළ යාම ආදී තත්ත්වයන් නිසා මේ වන විට මෙරට ගෑස් බෙදාහැරීමේ කර්මාන්තය දැඩි අර්බුදයට ලක්ව ඇති බව පෙන්වා දුන්නේය.
මේ තත්ත්වය මගහරවා ගැනීම සඳහා වර්තමානයේ ගෑස් බෙදාහැරීම සඳහා ගෑස් ඛෙදාහරින්නන් සහ අලෙවි නියෝජිතයින් සඳහා ලබාදෙන මිල පරතරය (2007 වසරේ සිට සංශෝධනය නොකළ) සහ වර්තමානයේ දිස්ත්‍රික් මට්ටමින් ලබාදෙන ප්‍රවාහන දීමනාව (2012 වසරේ සිට සංශෝධනය නොකළ) වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයට ගැළපෙන ආකාරයට වහාම සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිටියි. එමෙන්ම, ගෑස් බෙදාහරින්නන් සහ අලෙවි නියෝජිතයන් සඳහා ලබාදෙන මිල පරතරය 12%ක් දක්වා (බෙදාහරින්නන්ට 7.5%ක් සහ අලෙවි නියෝජිතයන්ට 4.5%ක් වශයෙන්) ඉහළ දැමිය යුතු බවද ඔවුන් යෝජනා කරයි. එමෙන්ම ප්‍රවාහන දීමනාව කොළඹ දිස්ත්‍රික්කය ඇතුළත කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරයකට රු.7ක් විය යුතු බවත්, ඊට සමගාමීව අනෙකුත් සියලු දිස්ත්‍රික්ක සඳහා වන ප්‍රවාහන දීමනාව ඉහළ දැමිය යුතු බවත් ඔවුන් මෙහිදී යෝජනා කළේය.
ශ්‍රී ලංකා එල්.පී. ගෑස් බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති සත්යේන්ද්ර විජයපුර මහතා අදහස් දක්වමින් කියා සිටියේ, වර්ෂ 2007 සිට මෙරට එල්.පී. ගෑස් බෙදාහැරීමේ ක්‍රියාවලිය කිසිදු අවහිරතාවකින් තොරව නියමාකාරයෙන් තම සංගමය විසින් උසස් මට්ටමින් පත්වාගෙන ආ බවයි. විවිධ මූල්‍ය ආයතනවලින් ණය ලබාගනිමින් අධික මුදලක් ආයෝජනය කර විවිධ අභියෝගවලට මුහුණ දෙමින් දින 365 පුරාවට අඛණ්ඩ සේවාවක් පවත්වා ගනිමින් මෙරට ගෘහස්ත සහ වාණිජ ගෑස් සැපයුම සාර්ථකව පවත්වාගෙන යාමට ඔවුන් කටයුතු කළ බවද හෙතෙම අවධාරණය කරයි. නමුත් වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ කර්මාන්තය තුළින් ලැඛෙන ලාභය අවම වීම නිසා එය පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ඒ මහතා පවසා සිටියේ, මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් වහාම පියවරක් ගත යුතු බව අවධාරණය කරමිනි.
ඒ අනුව, ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ගෑස් සැපයුම අඩාල වුවහොත් එය මෙරට සෑම අංශයක් කෙරෙහිම බලපානු ඇති බවත්, මහා පරිමාණ සංචාරක හෝටලයේ සිට ආහාර අලෙවි සැල දක්වාත්, රෝහල් සේවා සඳහා, කෘෂිකාර්මික කටයුතු සඳහා, ගෘහ ඒකක සඳහා ආදී වශයෙන් විවිධ අංශ රැසක් මෙසේ ගෑස් සැපයුම අඩාල වීමෙන් අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බවත් හෙතෙම පවසා සිටියේය.
මෙරට ගෘහ ඒකක මිලියන 5.5ක් එල්.පී. ගෑස් භාවිත කරයි. ඉන් 73%ක ප්‍රතිශතයක් (ගෘහ ඒකක මිලියන 4.25) ලිට්රෝ ගෑස් සමාගම සපුරාලයි. මෙරට ඇති තාක්ෂණයෙන් උසස් හොඳම පිරවුම් ඒකකය ලිට්රෝ සමාගම සතු අතර, එය කෙලවරපිටියේ පිහිටා තිබේ. ගෑස් පිරවීම සඳහා භාවිත කරන උසස්ම හා ආරක්ෂාකාරී තාක්ෂණය භාවිත කරමින් මෙහිදී පුරවනු ලබන ගෑස් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් මගින් දිවයින පුරා බෙදාහරිනු ලබයි. ගෑස් ඛෙදාහරින්නන් 35 දෙනෙකු විසින් රෝද 6, රෝද 10 සහ ප්‍රයිම්මූවර් ආදී ට්‍රක් රථ 600කට අධික ප්‍රමාණයක් යොදාගනිමින් දිවයින පුරා දිනපතාම ගෑස් බෙදාහැරීම සිදුකරයි.