එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට විරුද්ධව නඩු මාර්ගයට පිවිසෙන ලෙස සියලු ධීවර සංගම් වලින් ඉල්ලීමක් කරන බවත් ඒ සම්බන්ධයෙන් තමන්වහන්සේ නායකත්වය ලබා දීමට සූදානම් බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.
අද (02දා) කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
එමෙන්ම මෙම නැව ගිණි ගැනීම හේතුවෙන් ධීවර ජනතාවට සිදු වූ පාඩුව ගණනය කර අදාළ සමාගමෙන් එම පාඩුව පියවා ගත යුතු බවත් පසුව එම මුදල ධීවර ජනතාවට වන්දි මුදලක් ලෙස ලබා දීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
“දැන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් සිදු වෙලා තිබෙනවා මේ නැවෙන්. මේ වරාය භාර ඇමතිවරයා සහ ඔහුගේ ඒ මණ්ඩලය මේ පිළිබද හරියාකාර පිළිතුරක් අපිට ලබා දීලා නෑ. මේ නැව එනකොට නැව ගිණි ගනිමින් තිබුණා කියලා දවස් ගණනාවකට පසු අපි දැක්කා පින්තූර.
ඒ වෙලාවෙදිවත් මොනවත් කළේ නෑ ගැඹුරු මුහුදට යන්න. දැන් මුහුදු වෙරළ විනාශ කරලා මත්ස්‍ය සම්පත විනාශ වුනාට පස්සේ දැන් සුදුලූණු පොඩි කරන්න හදනවා මේගොලලෝ. දැන් ඒකට හේතු කියන්න එනවා. නැව ගිලුනොත් ඒ නැවේ තියෙන තෙල් සේරම කාන්දු වෙලා මුහුදු වෙරලයි රස්සාවයි නැතිවෙනවා අපේ ධීවර ජනතාවට. ඒකට අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි දැන් ධීවර සංවිධාන වලින් ඉල්ලා සිටිනවා කරුණා කරලා සියලු දෙනා එකතු වෙලා මේ කොම්පැනියට විරුද්ධව නඩු මාර්ගයට බසින්න කටයුතු කරන්න.
මේ පිළිබද නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. මේ ඉන්ධන ප්‍රමාණය මුහුදට ගියොත් දැනට සිදුව ඇති විනාශයටත් වැඩි විනාශයක් සිදු වෙනවා. ඒ නිසා මේක තමයි පළමුව කරන්න ඕනී. දෙවනුව මේකෙන් පාඩු වුන ධීවර ජනතාවට රුපියල් 5000 පමණක් දීලා වැඩක් නෑ. ඔවුන්ට සිදු වූ පාඩුව ගණනය කරලා ඒ පාඩුව නැව් සමාගමෙන් අය කරලා වන්දි මුදලක් ධීවර ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න ඕනී.”