කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙක් හමුවීම නිසා කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාරට සංචරණ සීමා පැනවූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.
දින කීපයකට පෙර කුරේ පාරේ පදිංචිකරුවන් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබුණු අතර එම පරීක්ෂණ ප්‍රතිඑල ඊයේ දිනයේ ලැබීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම පුද්ගලයාගේ නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පුද්ගලික වෙළඳ ආයතනයක රැකියාව සඳහා ගොස් ඇති බව හෙළිවී ඇත.
මෙම පුද්ගලයා මීට පෙර කළුතර ප්‍රදේශයේ මුස්ලිම් බාලිකා පාසලක කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස රැකියාව කර ඇති අතර මේ දිනවල පාසල් වසා දමා තිබීම නිසා නැවත පාසල් ආරම්භ කරන තෙක් කොළඹ පිහිටි පුද්ගලික ආයතනයක රැකියාවට ගොස් ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දුරකතනයෙන් එම පුද්ගලයා සම්බන්ධකර ගැනීමේදී මොරවක බලා ධාවනය වන පෞද්ගලික බස් රථයකින් පැමිණෙමින් සිටින බව සැලවීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මකවූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග කළුතර නගරය මධ්‍යයේ ඔහු පැමිණි බස් රථය නවත්වා එම ආසාදිත තැනැත්තා සෞඛ්‍ය අංශ භාරයට ගැනිණි.
බස් රථය සහ එහි ගමන් ගත් මගීන් විෂබීජාණුහරණය කල අතර මගියා සමග මුදල් හුවමාරු කල කොන්දොස්තරවරයාට මොරවක ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීන් දනුම්වත්කර නිරෝධායනය වීමට උපදෙස් ලබාදී බස් රථය පිටත්කර හැරීමට කටයුතු කළේය.
කුරේ පාරේ කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තාවීමත් සමග රෝගය පැතිරීමේ අවධානමක් පවතින බවත් එම නිසා එම ප්‍රදේශයේ සංචරණ සීමා කිරීමට කටයුතු කල බවත් කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී.සිංහබාහු මහතා වැඩිදුරටත් පැවසීය.
මතුගම බන්දු තඹවිට