ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂයභාර ඇමතිවරයා ඍජුව වගකිවයුතු බවත් ජනතාව පීඩාවට පත්කිරීමේ වගකීම භාරගෙන ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
කොවිඩ් අර්බුදය හේතුවෙන් ජන ජීවිතය අඩාල වී ජනතාව අපහසුතාවයට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළට දමා මෙම අසීරු අවස්ථාවේ දී පීඩාවට පත්වී ඇති ජනතාව තවත් අසීරුවට පත්වන ආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට රජය පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ දැඩි අවධානය යොමුව ඇති බවත් ජනතාවාදී රජයක් ලෙස මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව තේරුම් ගෙන නිසි අවස්ථාවන්හිදී අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අදාල විශයභාර ඇමතිවරයා කටයුතු නොකිරීම මත රජය මෙවැනි අසීරු තත්ත්වයකට පත්වීමට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. මෙය අසීරු අවස්ථාවදී පක්ෂය සහ එහි නායකයින් උවමනාවෙන් අප්‍රසාදයට පත්කිරීමට ගත් උත්සාහයක් දැයි තමන් සැක කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි.