තලවකැලේ, කොටගල හා පතන ප්‍රදේශවල වතු ආශ්‍රිතව කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් සිවු දෙනෙකු ඊයේ (28) හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
කොටගල, වුටන් වත්තෙන් එක් අයෙකු, පතන, ක්‍රෙග්ලි වත්තෙන් දෙදෙනෙකු හා තලවකැලේ ග්‍රෙස්වෙස්ටන් වත්තෙන් එක් අයෙකු මෙසේ කොවිඩ් ආසාදිත බවට හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියළුම දෙනා කොළඹ සිට දීපවාලී උත්සවයට වතුකරයට පැමිණි පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
දෙමටගොඩ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිට පතන, ක්‍රෙග්ලි වත්තට පැමිණ සිටි 18 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු, ග්‍රෑන්පාස් ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට කොටගල, වුටන් වත්තට පැමිණි සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු හා කිරිබත්ගොඩ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ ලුසා කොටසට පැමිණ සිටි 18 හැවිරිදි තරුණයෙකු මෙසේ කොවිඩ් ආසාදිතව ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
කොවිඩ් ආසාදිත තරුණියන් දෙදෙනා කඹුරුපිටිය ප්‍රතිකාර මධ්‍යස්ථානයට හා පිරිමි පුද්ගලයන් දෙදෙනා හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණි.
කොවිඩ් අවදානම් සහිත ප්‍රදේශවල සිට උඩරට වතුකරයට පැමිණ සිටින පුද්ගලයන් තම තොරතුරු වසන් නොකොට සෞඛ්‍ය අංශවලට කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙසත් දැනට වතු ආශ්‍රිතව නිරෝධායනයට ලක් කොට සිටින පිරිස් නිවාසවලින් බැහැරට නොයා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපති රාජමණී ප්‍රසාද් මහතා වතු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ශාන් හුලංනුගේ