අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාට සැඟව සිටීමට උදව් උපකාර කළ පුද්ගලයන්ට එරෙහිව ද නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ රාජිත සේනාරත්න මහතාගේ කටේ නරිවාදම් දැන් රෙද්ද පල්ලෙන් බේරෙන බවයි. රාජපක්ෂවරුන්ට බොරු නඩු පටලවා සිරගත කිරිමේ යහපාලන ආණ්ඩු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළ අයෙකු වන රාජිත සේනාරත්න මහතාට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දෙමින් පවතින බවද රණතුංග මහතා සඳහන් කරයි.
උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දී මිනුවන්ගොඩ තරුණ සංවිධාන නියෝජිතයන්ගේ හමුවකදි රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ,
" මිනිහෙකුට කරදරයක් වුණාම අපි කවදාවත් ඒක හොඳයි කියපු අය නෙමෙයි. ඒත් රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා මේ රටට කරපු විනාශය නිසා අද රාජිත අත්අඩංගුවට ගත්තාම අනේ අපොයි කියන කෙනෙක් නෑ. එදා මට මතකයි රාජිතලා මහින්ද මහත්තයලා, ගෝඨාභය මහත්තයලා අත් අඩංගුවට ගන්නවා කියලා පම්පෝරි ගහපු හැටි.
රාජිතලා එදා වැඩ කළේ රාජපක්ෂ පවුලෙන් පළිගැනීමේ වුවමනාවට. ඒ අයට ඕන වුණේ රාජපක්ෂලා හිරේ දාන්න. ඒ වෙනුවෙන් යහපාලන ලොක්කෝ නීතිය නැමුවා. හැබැයි අපි එහෙම නෑ. අපි නීතිය නමන්නේ නෑ. නීතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා. රාජිතලාට, චම්පිකලාට වගේම යහපාලන හොරුන්ටත් නීතියෙන් ගැලවීමක් නෑ.
රාජිතව, චම්පිකව පොලීසිය අත්අඩංගුවට ගත්තාම දේශපාලන පළිගැනිම්ලු. පුදුම වැඩක් තමයි. එදා නාමල්ලා, යෝෂිතලා, ජොන්ස්ටන්ලා, විමල්ලා අත් අඩංගුවට ගන්න කොට ඒක නීතිය ක්‍රියාත්මක කිරිම. අද රාජිතව, චම්පිකව පොලීසිය අත්අඩංගුවට ගන්න කොට දේශපාලන පළිගැනීම්ලු. පුදුම කථා මේවා.
මම දැක්කා රාජිතට වරෙන්තු කරලා තියෙන කොට දවස් දෙකක්ම හැංගිලා හිටියේ මේ රටේ හිටපු නායිකාවකගේ ගෙදර කියලා සමහර වාර්තා පළවෙලා තියෙනවා. වරෙන්තුකරුවෙකු වූ රාජිතට රැකවරණ දුන්නේ කවුරු වුණත් ඒ අයගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිවද නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.
2015 ජනවාරි 08 තමයි මේ රටේ මෑතක දි ඇති වූ මූසලම දිනය. ඒ දිනයෙන් පස්සේ රට ආගාධයට ගියා. අපි දැන් අපේ රට ඒ ආගාධයෙන් ගොඩගැනීම සදහා අවශ්‍ය කටයුතු ද කරමින් ඉන්නවා. මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තබා ඇත්තේ සුළුපටු විශ්වාසයක් නෙමේ. ඒ විශ්වාසය අපි කිසිලෙසකවත් පළුදු කරන්නේ නෑ”.