වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණුවීම් අවස්ථා ලබාදී තරුණ තරුණියන්ට ස්ථිර රැකියා ලබාදීමට පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළින් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
බඳවාගැනිමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා යහපාලන ආණ්ඩුව සිදු කළ අවිධිමත් බඳවාගැනීම් හේතුවෙන් තරුණ තරුණියන් විසිපන්දහසකට අධික ප්‍රමාණයකට මේ වන විට රැකියා අහිමි වන තත්ත්වයට පත්ව ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අද (29) කඩවත කැනාරා උත්සව ශාලාවේ පැවති හමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ,
පසුගිය යහපාලන ආණ්ඩුව 2016 - 2019 කාල සීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11 ක මූල්‍ය අවභාවිතාවක් සිදුකර තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් මට භාරදුන් වාර්තාවෙන් ඔප්පු වෙලා තිබෙනවා. එපමණක් නොවෙයි ඔවුන් සංස්කෘතික අරමුදලේ ඩොලර් ගිණුමෙනුත් මුදල් අවභාවිත කරලා. පසුගිය ජනාධිපතිවරණ සමයේදී අනුමැතියෙන් තොරව රුපියල් මිලියන 400ක් මැතිවරණ වලට පෝස්ටර් ගහන්න නිදහස් කරලා. මේ අරමුදල තියෙන්නේ ආගමික ස්ථානවලට උදව් කරන්න. ඒ වුණාට ඒ අරමුදල පාවිච්චි කරලා තියෙන්නේ පොස්ටර් ගහන්නයි පාලම් බෝක්කු හදන්නයි.
2019 වසරේ අනුමැතියකින් තොරව කළ වියදම් අනුමත කරන්න වර්ෂාවසානයේ (2019.11.15) අධ්යක්ෂ මණ්ඩල රැස්වීමක් තියලා. සාමාජිකයින් පස් දෙනයි ඒකට ඇවිත් තියෙන්නෙ. ඉතිරි අයගේ ගෙවල්වලට ගිහින් තමයි ඒ අය අත්සන් අරන් තියෙන්නෙ.
මහා භාණ්ඩාගාර අනුමැතියකින් තොරව එජාප ආණ්ඩුව ජංගම ගිණුම් 25ක් පවත්වා ගෙන ගිහින් තියෙනවා. විදේශ ආදායම් සහිත අරමුදල් ව්‍යාපෘතිවල ගිණුම්වලත් දෝෂ තියෙනවා. මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් මිලදී ගැනීම් රැසක් එජාප ආණ්ඩුව විසින් සිදු කරලා.
ඒ වගේම තමයි එජාප ආණ්ඩුව පසුගිය කාලය පුරාවටම බඳවාගැනීම් පටිපාටියෙන් පිට ගිහින් අවිධිමත් බඳවාගැනීම් රැසක් සිදුකරලා තිබෙනවා.ඔවුන් තරුණ තරුණියන්ට රැකියා දීලා තියෙන්නේ උසනම් සිකුරුටි කොටනම් කම්කරු කියන පදනම මත ඉඳලයි. තරුණ තරුණියන්ට රැකියා දෙනවා නම් ස්ථිර රැකියා ලබාදෙන්න ඕන. පසුගිය යහපාලන ආණ්ඩුව සිදුකළ අවිධිමත් බඳවාගැනීම් නිසා විසිපන්දහසකට වැඩි තරුණ තරුණියන් පිරිසක් යන එන මං නැතුව ඉන්නවා. සාමාන්‍යයෙන් එජාපය බලයට පැමිණි සෑම අවස්ථාවකදීම මෙවැනි දේවල් සිදුකරනවා. පොහොට්ටුවේ ආණ්ඩුවක් යටතේ මේ වගේ අවිධිමත් වැඩ අපි කරන්න දෙන්නේ නැහැ. වෘත්තිය පුහුණු අධිකාරිය යටතේ පුහුණු කරලා තරුණ තරුණියන්ට ස්ථිර රැකියා ලබාදීමට කටයුතු කරනවා. අපි 2005-2014 කාලයේදීත් මේ වැඩපිළිවෙළ තමයි ගෙන ගියේ.