සමාගම් සමග සාකච්ඡා කරමින් සංශෝධිත තිරිඟු පිටි කිලෝවක මිල මේ මස 17 වනදා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී ඉදිරිපත් කල හැකි යැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
අනුරාධපුරදී පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය,
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
දීර්ඝ කාලයක් තිස්සේ තිරිඟු පිටි මිල වැඩි කිරීමට සමාගම් ඉල්ලීම් සිදු කර තිබුණද මිල වැඩි කිරීමට හේතු ඉදිරිපත් කිරිමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා. ආණ්ඩුවේ වගකීම සහ මැදිහත්වීම මත අපි ජීවන වියදම් කමිටුව හරහා සමාගම් වෙත දන්වා සිටියා තිරිඟු පිටි මිල වැඩි කිරීමට හේතු දක්වන්න කියා. නමුත් ඇතැම් සමාගම් මේ පිළිබද නිවැරදි තොරතුරු ලබා දීමට ජීවන වියදම් කමිටුවට වාර්තා එවීම මගහරිනු ලැබුවා. ඔවුන්ට සිතෙන සිතෙන පරිද්දෙන් පිටි මිල ඉහළ දැමීම පිළිබඳව පසුගියදා ජීවන වියදම් කමිටුවේදී සමාගම් සමග සාකච්ඡාවක් කලා.
එහිදි තිරිඟු පිටි පෙර පැවැති මිලටම ලබා දීමට තීන්දු කල ද ඊයේ ( 11 ) දින වන විටත් ඔවුන් වැඩි කල රු. 5.50 ක මිල එලෙසම පවත්වාගෙන යන්නට අලෙවි ඒජන්තවරුන්ට උපදෙස් ලබාදී තිබුණා. නමුත් අද වනවිට අප දැන්වූ පරිද්දෙන් පෙර පැවැති මිලටම තිරිඟු පිටි කිලෝවක් අලෙවි කිරීමට එම සමාගම් තීන්දු කර තිබීම සතුටට කරුණක්.
සමාගම් තිරිඟු පිටි මිල ඉහළ දැමිමට කරන යෝජනාවන් පිළිබඳව විශේෂ කමිටුවක් ජීවන වියදම් කමිටුව හරහා අප පත්කර තිබෙනවා. මේ සදහා මුදල් අමාත්‍යංශයේත් වෙළඳ අමාත්‍යංශයන්හි නිලධාරීන් නම් කර තිබෙන අතර ඊළග එනම් සැප්. 17 දින පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී අවසන් තීන්දුවකට පැමිණිය හැකි බව සඳහන් කළේය.
තිරිඟු පිටි මිල වැඩි වීමත් සමග පාන් මිල වගේම බනිස් ගෙඩියක මිල ද රු. 5 කින් පමණ බේකරි නිෂ්පාදකයින් විසින් ඉහළ දැමීම අසාධාරණයක් බවත් ඒ හේතුවෙන් ඉදිරි සතියේදී බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය සමග සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් කීය.