නැගෙනහිර තායිවානයේ හුආලියන් ප්රාන්තයේ පුද්ගල ජීවිත 50ක් අහිමි කරමින් දුම්රියක් පීලිපැනීමෙන් සිදුවූ අනතුරට වගකිව යුතු යැයි විශ්වාස කෙරෙන ඉදිකිරීම් සමාගමක කළමනාකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
උමං මාර්ගයක් තුළ දුම්රිය පිලිපැනීමට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 350ක් ගමන් කරමින් සිට ඇති අතර, මියගිය අය අතර දුම්රියේ රියදුරන් දෙදෙනෙකු ඇතුළු මගීන් 48 දෙනෙකු සිටින බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ. එමෙන්ම මෙම අනතුරෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
අදාළ ඉදිකිරීම් සමාගමේ සැකකාර කළමනාකාරවරයාට අයත් වාහනයක් ඔවුන්ගේ ඉදිකිරීම් ස්ථානයක බෑවුමක සිට උමං මාර්ගය අඩක් පසුකරමින් තිබූ දුම්රිය වෙත පෙරළී ගැටීමක් සිදුව තිබේ. ඒ සමගම දුම්රිය පිලිපැනීමකට ලක්ව උමං මාර්ගය තුළ තිබූ පෙට්ටි ආශ්රිතව මෙම මාරාන්තික අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය විශ්වාස කරන්නේ මෙම සැකකාර කළමනාකාරවරයා හෑන්ඩ් බ්රේක් භාවිතයකින් තොරව මෙම රථය අදාළ බෑවුමේ නවතා තැබීම නිසා මේ ආකාරයෙන් දුම්රිය වෙත පෙරළී ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන බවද පොලීසිය පවසයි.
පෙට්ටි 08කින් යුත් දුම්රිය ගිනිකොනදිග නගරයක් වන ටයිතුං වෙත ගමන් කරමින් තිබී ඇති අතර, දුම්රියේ සමහර මැදිරි උමග තුළ සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට ලක්ව ඇති බවද පොලීසිය පවසයි.