තායිවානයේ රට තුළම කොවිඩ්-19 වසංගතය යළි හිස එසවීමක් නිසා රජය නව සීමාවන් ප්‍රකාශයට පත්කිරීමත් සමග ජනතාව ක්ෂණික නූඩ්ල්ස්වල සිට ටොයිලට් පේපර්ස් දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ එකතු කරමින් කඩ සාප්පු හිස් කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත් කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා රැස්වීම් සහ සංචරණය සඳහා නව සීමා පැනවීමත් සමග ජනතාව මෙසේ භීතියෙන් යුතුව භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස තායිවානයේ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබේ.
තායිවානය ඊයේ (15දා) තායිපේ අගනුවර සහ අවට ප්‍රදේශවල කොරෝනා වෛරස අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නැංවූ අතර, සති දෙකක සීමාවන් පනවමින් බොහෝ ස්ථාන වසා දැවීමටත්, රැස්වීම් සීමා කිරීමටත් කටයුතු කළේය.
වසංගතය ආරම්භයේ සිට වඩාත් හොඳින්ම කොවිඩ්-19 පාලනය කළ රටක් ලෙස ප්‍රකට තායිවානයේ මේ දක්වා ඇති වූ ආසාදිතයන් සංඛ්‍යාව 1,475ක් තරම් අඩු මට්ටමක පැවතුණි. කෙසේ වෙතත් මෑත කාලීනව ලෝකයේ බොහෝ කලාපවල දැකගත හැකිවූ ආකාරයේ පූර්ණ ලොක්ඩවුන් හා සංචරණ සීමාවන් එතරම් නොමැතිව සාමාන්‍ය ජීවිතයක් ගෙවූ තායිවාන වැසියන්ට මෙම ආසාදන තත්ත්වය තරමක් තදින් දැනී ඇති බව කියයි.
මේ තත්ත්වය තුළ ජනතාව කඩ සාප්පු හිස් කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස් කරමින් සිටි අතර, එහිදී ජනාධිපති, අගමැති සහ ආර්ථික අමාත්‍යාංශයද ෆේස්බුක් පණිවුඩ තබමින් භාණ්ඩ එක්රැස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව කීහ.
"වසරකට වැඩි කාලයක් වසංගතයට සූදානම්ව සිටින රටක් ලෙස, වසංගත විරෝධී ද්‍රව්‍ය, එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අමුද්‍රව්‍ය ප්‍රමාණවත් තරම් තොග පවතින බැවින්, භාණ්ඩ නිවෙස්වල පුරවා ගැනීමට අවශ්‍ය නැහැ." ජනාධිපති සයි ඉන්ග්-වෙන්න් පැවසීය.
ප්‍රංශ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කැරිෆෝර් කියා සිටියේ තම තායිවානයේ වෙළෙඳසැල්වල මුඛ ආවරණ සහ ක්ෂණික නූඩ්ල්ස් වැනි භාණ්ඩ මිලදී ගැනීම සීමා කිරීමට සිදුවූ බවය.
මෙම වසංගතයේ යළි නැගිටීම හමුවේ සම්පූර්ණයෙන්ම අගුලු දැමීමට නියෝග නොකරන අතර රජය හැකිතාක් නිවසේ රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කියා සිටියි.