බ්‍රසීලය විසින් ගෙවීගිය දිනයේදීත් නව කොරෝනා වෛරස ආසාදිතයන් 52,383ක් වාර්තා කර ඇති අතර, ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,662,485ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
බ්‍රසීලය මෙසේ නව කොවිඩ්-19 ආසාදිතයන් 50,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා කළ අඛණ්ඩව තෙවැනි දිනය මෙයයි.
මීට අමතරව, වෛරසය සම්බන්ධ නව මරණ 1,212ක් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 92,475ක් දක්වා ඉහළ නංවා තිබේ.
මේ අතර බ්‍රසීලයේ තවත් ආමාත්‍යවරයෙකු වන වැග්නර් රොසරියෝ කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණයක් කළ බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.
කොම්පෝටර් ජෙනරාල් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රොසරියෝ, ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ රජයේ වෛරසය ආසාදිත 6 වැනි අමාත්‍යවරයාය.
බ්‍රසීලයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මාකෝස් පොන්ටෙස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රහස්පතින්දා කියා සිටියේ තමා කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බවය.
අමාත්‍ය රොසරියෝ හුදෙකලා වී සුවය ලබන තෙක් දුරස්ථව සිය රාජකාරිය ඉටු කරන බව ඔහුගේ කාර්යාලය පවසයි.
මේ අතර බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ෆේස්බුක් වීඩියෝවකින් කියා සිටියේ ආසාදනයක් සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා බවත්, තමාට පෙනහලුවල දුර්වල බවක් දැනෙන බවත්ය.
"මම දැන් රුධිර පරීක්ෂණයක් කළා. මට ඊයේ යම් ආකාරයක දුර්වලතාවයක් දැනුණා. පොඩි ආසාදනයක් ඇති බව දැනගත්තා. දැන් මම ප්‍රතිජීවක ඖෂධ ලබාගෙන තිබෙනවා" බොල්සොනාරෝ කීවේය.
"හුදකලා වී දින 20කට පසු, මට වෙනත් ගැටළු ඇතිවෙලා. මගේ පෙණහලුවල දුර්වලතාවක් දැනෙනවා" ඔහු නිල ජනාධිපති නිවසේ ගත කළ සති තුනකට ආසන්න කාලයක් ගැන සඳහන් කළේය.
ඔහු ජූලි 7 වැනි දින නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ අතර පසුව පසුගිය සෙනසුරාදා එය සෘනාත්මක බව නිවේදනය කරමින්, එය සැමරීම සඳහා වීදි පුරා යතුරුපැදි සවාරියකද නිරත විය.
මේ අතර, ජනාධිපති ආර්යා මිෂෙල් බොල්සොනාරෝද ඊයේ කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ අතර, ඇය ජනාධිපතිවරයා සමග පසුගිය දින කිහිපයේ අවස්ථා කිහිපයකදීම ළඟින් සිට ඇති බවද කියැවෙයි. ඒ අනුව බොල්සොනාරෝ සුවය ලැබුවා යැයි කීවාට ඔහු සම්පූර්ණ සුවයක් ලැබූ බවක් ගැනද ගැටලු පැන නැගී තිබේ.