තමා පිළිබඳව අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සිටින ඇතැම් පිරිස් අසාධාරණ දේශපාලන වාසියක් හා වර්ගවාදී වාසියක් ගැනීමට උත්සාහ කරමින් සිටින බවත් ජනනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එ්වා හරහා බලපෑමකටට ලක් නොවනු ඇති බව තමාට විශ්වාස බවත් සඳහන් කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙක් වන රියාද් බද්යුදීන් මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදියෙකු වූ ඉන්ෂාෆ් අහමඩ් සමග දුරකතන සංවාද පැවැත්වීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය අප්‍රේල් මස 14 දා තමාව අත්අඩංගුවට ගත් බවත් ඉන අනතුරුව මාස 5 හමාරක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන විමර්ශන කළ බවත් ඔහු සිය ලිපියෙන් පවසයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම නිවාස, තම දුරකනතන වාර්තා, ලැප්ටොප් පරිගණකය,තම බැංකු ගිණුම් ඇතුළුව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ කරුණු සොයා බලමින් විමර්ශනය අවසන් කළ බවද ඔහු පවසයි.
ඒ අනුව තමන් කිසිම ත්‍රස්තවාදී කටයුත්තකට සම්බන්ධ බවට සාක්ෂි නොමැතිවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය විමර්ශන අවසන් කළ බවද ඔහු සිය ලිපියෙන් දන්වා සිටියි.
තමා හා ඉන්ෂාෆ් අහමඩ් අතර පැවැතියේ ස්වභාවික හා පැහැදිලිකළ හැකි සබඳතාවක් බවත් සිය නිර්දෝෂීභාවය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෑහීමකට පත්වීමෙන් අනතුරුව තමන්ව නිදහස් කළ බවත් රියාද් බද්යුදීන් මහතා පවසයි.
තමා අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබඳව පැහැදිලි කරමින් ඔහු පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන සිටින අයෙක් සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ඔහු තවදුරටත් රඳවා ගැනීමට අවශ්‍ය නොවන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැගී යන්නේ නම් ඔහුව නිදහස් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට හැකියාවක් ඇති බවට මහේස්ත්‍රාත් අධිකරණයකින් මීට පෙර ප්‍රකාශ කර ඇති බවයි.
එහි පිටපතක්ද සිය ලිපිය හරහා රියාද් බද්යුදීන් මහතා ජනපති ගෝඨාභය මහතා වෙත යොමුකර තිබේ.
එසේම තමන් අත්අඩංගුවට ගත් දිනයේදී තමන් සමග අත්අඩංගුවට පත් පුද්ගලයන් 7 දෙනාගෙන් පුද්ගලයන් 4ක්ම මේ වන විටත් නිදහස් කර ඇති බවත් එයින් දෙදෙකුම නිදහස් කළේ අධිකරණයේ මැදිහත්වීමකින් නොවන බවත් ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් පවසයි.