රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම නඩු විභාගය ලබන නොවැම්බර් මස 07 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා බරපතළ රෝගී තත්ත්වයෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හෙයින් අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ 198 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා මෙම නඩුව කැඳවනු ලබන නොවැම්බර් මස 07 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විත්තිකරුගේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.