ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන ජෙෆ් බේසෝස් අන් කවරදාකටත් වඩා ධනවත් පුද්ගලයෙකු බවට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
පසුගිය බදාදා ඔහු දශක හතරකට ආසන්න කාලයක් තුළ නොදුටු සන්ධිස්ථානයක් පසු කර තිබුණි. ඒ බදාදා දහවල් වනවිට ඇමේසන් කොටස් අගය 2%කින් ඉහළ යාමත් සමග බේසොස්ගේ ශුද්ධ වත්කම් ඇ.ඩො. බිලියන 4.9කින් ඉහළ යෑම නිසාය. මේ සමග 56 හැවිරිදි වියේ පසුවන බේසෝස් ඇ.ඩො.බිලියන 200ක් ධනයක් රැස් කළ ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්විය.
ඇමේසන් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමස්ත වත්කම්වල වටිනාකම මේ වනවිට ඇ.ඩො.බිලියන 204.6ක් වන අතර, එය ලෝකයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වන බිල් ගේට්ස්ට වඩා ඇ.ඩො.බිලියන 90 කට වඩා වැඩිය.
ෆෝබ්ස් විශ්වාස කරන්නේ බෙසොස්ගේ ධනය මෙතෙක් වාර්තා කර ඇති ඇති විශාලතම වත්කම වන බවයි. කොරෝනා වෛරස් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගික පුරුදු වෙනස්වීම හේතුවෙන් ඇමේසන් කොටස් වසර ආරම්භයේ සිට 80%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ජනවාරි 1 වැනිදා දළ වශයෙන් ඇ.ඩො.බිලියන 115ක් වූ බෙසොස්ගේ ශුද්ධ වත්කම් මේ වනවිට එක හා සමානව ඉහළ ගොස් තිබේ. ඇමේසන් හි කොටස් බෙසොස්ගේ වත්කම්වලින් 90%කට දායකත්වයක් සපයන අතර, වොෂිංටන් පෝස්ට්, අභ්‍යවකාශ සමාගමක් වන බ්ලූ ඔරිජින් සහ වෙනත් පෞද්ගලික ආයෝජනද ඔහු සතුව ඇත.