ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් කොවිඩ්-19 ට එරෙහි යුද්ධය වෙනස් වී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය (CDC) පැවසුවේ සෞඛ්‍ය සේවකයන් සඳහා අනිවාර්ය එන්නත් ලබාදීම සහ විශ්වීය වශයෙන් මුඛ ආවරණ පැලඳීම වෙත නැවත පැමිණෙන ලෙස පැහැදිලි පණිවුඩයක් ලබාදෙමිනි.
වොෂිංටන් පෝස්ට් පුවත්පත විසින් අනාවරණය කරන ලද අභ්‍යන්තර CDC ලේඛනයේ සඳහන් වූයේ ප්‍රථම වරට ඉන්දියාවේදී සොයාගත් සහ දැන් ලොව පුරා පැතිර ගොස් ඇති මෙම ප්‍රභේදය පැපොල රෝගය මෙන් වේගයෙන් බෝවන හා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හෝ උණට වඩා වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ප්‍රභේදයක් බවයි. එහි අවදානම වැඩි වන්නේ, එන්නත ලබාගත් පුද්ගලයන්ට පවා එය බෝ විය හැකි වීමය. එසේම මීට පෙර පැවති කොරෝනා ප්රභේදයන්ට වඩා බරපතල රෝග ඇති කළ හැකි බවද කියයි.
"එන්නත් ප්‍රගතිය සහ එන්නත්වල සඵලතාව පිළිබඳ සන්නිවේදනය වැඩි දියුණු කිරීම" යන මාතෘකාව යටතේ වූ මෙම ලේඛනයේ සඳහන් කර ඇත්තේ, එන්නත ලබාගත් පුද්ගලයන්ට වඩා, එන්නත් ලබානොගත් පුද්ගලයන් වෙත වෛරසය ආසාදනය වී බරපතළ රෝගාබාධ ඇතිවීමට සහ මරණයට පත්වීමට 10 ගුණයකටත් වඩා ඉහළ අවදානමක් පවතින බවනයි.
"යුද්ධය වෙනස් වී ඇති බව පිළිගන්න" යනුවෙන් එහි සඳහන්ව තිබේ. "එන්නත් කර ඇති පුද්ගලයන් වෙතද අවදානමක් ඇති බවට වූ සන්නිවේදනය වැඩි දියුණු කරන්න." යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේම නිර්දේශිත වසංගතය වැළැක්වීමේ පියවර අතරට අවදානම් සහිත පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා එන්නත් අනිවාර්ය කිරීම සහ නැවත විශ්වීය වශයෙන් මුඛ ආවරණ පැලඳීම වෙත ආපසු යාම ඇතුළත් වේ.
වොෂිංටන් පෝස්ට් විසින් මුලින්ම වාර්තා කරන ලද මෙම ලේඛනයේ සත්‍යතාව CDC තහවුරු කළේය.
මෙහිදී එන්නත ලබාගත් පුද්ගලයන්ට ඩෙල්ටා ආසාදනය වුවහොත්, ඔවුන් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම නිසා පෙර පැවති ප්‍රභේද මෙන් නොව, ඔහු හෝ ඇය හරහා එන්නත ලබා නොගත් අයට රෝගය බෝවීම වේගවත්ව සිදුවිය හැකිය.
CDC හි ප්‍රධානී රොෂෙල් වැලෙන්ස්කි මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ, "අධික වෛරස් බරක් සම්ප්‍රේෂණය වීමේ අවදානම වැඩි කරන අතර, වෙනත් ප්‍රභේද මෙන් නොව ඩෙල්ටා ආසාදිත එන්නත් ලබාගත් පුද්ගලයන් හරහා වෙනත් අයට වෛරසය සම්ප්‍රේෂණය කළ හැකියි." යනුවෙනි.