බස් රථ ධාවනය නවතා තිබු ඩයගම සිට පෝඩයිස් හරහා හැටන් දක්වා දිවෙන මාර්ගයේ බස් රථ ධාවනය ඊයේ (19) සිට යළි ආරම්භ කිරීමට පියවර ගත් බව ආගරපතන ප්රාදේශීය සභාවේ සභාපති සුබ්රමණියම් කලෙයිචෙල්වම් මහතා කීය.
පසුගිය 02 දා එම මාර්ගයේ ගමන් ගත් පුද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් සිදු වු අනතුරකින් පසුව ආගරපතන හා නෝවුඩ් ප්රාදේශීය සභාවන් එකතුව මෙම මාර්ගයේ බස් රථ ඇතුළු බර වාහන ගමනාගමන කටයුතු මෙසේ තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබිණි.
මාර්ගයේ ඇති පටු බව, අධික කඳු බෑවුම් සහිතවීම නිසා බස් රථ ඇතුළු බරවාහන ධාවනය කිරීමේදී රියදුරන් විවිධ දුෂ්කරතාවයන්ට මෙන්ම අනතුරුවලට නිරන්තරයෙන් ලක්වීම හේතුවෙන් මෙම මාර්ගයේ බස් රථ ඇතුළු බරවාහන ධාවනය කිරීම තාවකාලිකව නවතා දැමු බවත් දැනට රජය මගින් මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට තිබීම හේතුවෙන් යළි බස් රථ ඇතුළු බර වාහන ධාවනයට පියවර ගෙන ඇති බවද ඒ මහතා කීය.