ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයන් විසින් ලබන මාසයේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලේදී කොන්ඩම් 150,000ක් පමණ ලබාදීමට සැලසුම් කර ඇති බව කියයි.
නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ගම්මානයේ භාවිත කරනවාට වඩා, ඒවා ගෙදර ගෙනයන ලෙස පවසමින් සමාජ දුරස්ථ නීති සහ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන පියවරයන්ට ප්රමුඛස්ථානයක් දීමට බල කෙරෙන බවද සංවිධායකයෝ පවසති.
1988 සෝල් ඔලිම්පික් උළෙලේ සිට HIV සහ ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොන්ඩම් විශාල ප්‍රමාණයක් ලබාදී ඇති අතර, සංවිධායකයන් පැවසුවේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙවරද ඔවුන්ගේ අඛණ්ඩ බෙදාහැරීම ඉල්ලා සිටින බවයි.
නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එකිනෙකාගෙන් දුරස්ථව සිටින ලෙසට මෙවර පවසා ඇති අතර, එයින් අදහස් කරන්නේ එකට එක්වීමට ඇති අවස්ථා අඩු සහ තවත් බොහෝ සීමාවන් ඇති බව යැයි ඔවුන් පෙන්වා දෙයි.
"කොන්ඩම් බෙදා හැරීයේ මලල ක්‍රීඩක ගම්මානයේ භාවිත කිරීම සඳහා නොවෙයි. HIV සහ ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම සඳහා වගේම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒවා නැවත තම මව් රටට රැගෙන යාම සඳහායි" ටෝකියෝ 2020 සංවිධායකයන් වැඩිදුරටත් පැවසීය.
එහිදී මෙවර ක්‍රීඩා උළෙල විදේශීය ප්‍රේක්ෂකයන්ට දැනටමත් තහනම් කර ඇති අතර, වසංගතය නිසා ප්‍රමාද වෙමින් පැවැත්වෙන උත්සවයට සහභාගී වන අයගෙන් ඉල්ලා සිටින්නේ, ප්‍රීතිඝෝෂා නඟමින් හෝ ගයමින් තරග නරඹනවාට වඩා අත්පුඩි ගසමින් තම සහයෝගය පෙන්වන ලෙසයි.
එමෙන්ම ඔලිම්පික් ගම්මානයේ පිරිසට ආහාරපාන සැපයීම තවත් ප්‍රශ්නයක් වී තිබේ. සංවිධායකයින් මුලින් සැලසුම් කර තිබුණේ ගම්මානයේ අයට විශාල භෝජන ශාලා තුළ ආහාර පාන ලබාදීමටය. එය එකවර 4,500කට අසුන් ගත හැකි විශාල එකකි.
නමුත් දැන්, සංවිධායකයන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තනිවම ආහාර ගැනීමටත්, අන් අය සමග සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමටත්, ආහාර ගැනීමෙන් පසු මතුපිට අතුගා දැමීමටත් ඉල්ලා සිටියි.
"නිසි ක්‍රියාමාර්ග නොගත්තොත්, වෛරසය ගෙන ඒමට සහ එය පැතිරවීමට එක් අයෙකු පමණක් ප්‍රමාණවත් වනු ඇති. විශේෂයෙන් මලල ක්‍රීඩා ගම්මානය වැනි ස්ථානවල එය වැදගත්." ටෝකියෝ 2020 හි කොරෝනා ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දෙන බෝවන රෝග විශේෂඥයෙකු වන නොබුහිකෝ ඔකාබේ ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"ආසාදන පොකුරක් ඇති නොවීමට වග බලා ගැනීම සඳහා අපට කළ හැකි දේ කළ යුතුයි. මේ කාර්යය කිරීමට අපට සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ නියෝජිතයන්ගේ සහයෝගය අවශ්‍යයි." හෙතෙම වැඩිදුරටත් පැවසීය.