චීනයට අයත් ටික්ටොක් හි ඇමෙරිකානු හස්තය මිලදී ගැනීම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමට අවසර ලබාදෙන්නේ එය සම්පූර්ණයෙන්ම චීනයෙන් වෙන්කර මිලදී ගැනීමට ඔවුන් කටයුතු කළහොත් පමණක් බව ජනපති ට්‍රම්ප් කොන්දේසියක් දමා තිබේ.
ඒ අනුව ටික්ටොක් ඇප් වැඩසටහනේ හිමිකාරීත්වය දරණ බයිට්ඩාන්ස් සමාගම වෙත මෙවැනි එකඟතාවක් සඳහා දින 45ක කාලයක් ලබාදෙන බවද ට්‍රම්ප් පවසා තිබේ.
පසුගියදා ට්‍රම්ප් සඳහන් කළේ ඇමෙරිකාව තුළ ටික්ටොක් තහනමට ලක්කරන බවය. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ටික්ටොක් ප්‍රධානියා මෙන්ම, එරට ටික්ටොක් පරිශීලකයන්ද දැඩි විවේචනයක් එල්ල කළද, ට්‍රම්ප් පවසා සිටින්නේ ටික්ටොක් හරහා චීනය ඔත්තු බැලීමක යෙදෙන බවය.
මීට පෙර ඉන්දියාවද ටික්ටොක් එරට තුළ තහනම් කරනු ලැබුවේ මෙවැනිම හේතුවක් පසුබිම් කරගෙනය.