කූරගල රජමහා විහාරයේ කළ ප්‍රකාශයකින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාස වලට නින්දා කළ බවට බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවේ අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා විසින් උන්වහන්සේට අද (21) භාර දුන්නේය.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇපයක් මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා මෙම පැමිණිල්ල යළි කැදවන ලබන නොවැම්බර් මස 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස උන්වහන්සේට නියම කළේය.
2016 නොවැම්බර් පළමුවැනිදාත් 2016 දෙසැම්බර් 11 වැනිදාත් අතර කාලයේ කූරගල රජමහා විහාරස්ථානයේදී කළ ප්‍රකාශයකින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාස වලට නින්දා කළ බවට ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී උන්වහන්සේට එරෙහි අධිචෝදනා පත්‍රය භාරදුන්නේය.
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද මහතා කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියකට අනුව අධිකරණයේ පෙනී සිටි තමසේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව උන්වහන්සේට ඇප නියම කළ විනිසුරුවරයා මෙම නඩුව යළි කැදවන ලබන නොවැම්බර් 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.