ඉන්දුනීසියාව ජාවා සහ බාලි දූපත්වල කොවිඩ්-19 සීමාවන් එලැඹෙන අගෝස්තු 16දා දක්වා දීර්ඝ කර ඇති නමුත්, තවත් ප්‍රදේශ 26ක සීමා ලිහිල් කරන බව පවසයි.
කෙසේ වෙතත් නිල දත්ත වල දැක්වෙන්නේ ජකර්තා අගනුවර ආසාදන පහළ වැටී ඇති නමුත් වෙනත් ස්ථානවල ආසාදන වැඩි වෙමින් පවතින බවයි.
ආසියාවේ කොවිඩ්-19 වසංගතයේ දැඩි බලපෑමකට ලක්වූ කලාපයක් ලෙස ජාවා සහ බාලිවල ජූලි මස මුලදී කොරෝනා වෛරසයේ බෙහෙවින් සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා බලධාරීන් සංචරණය සීමා කරනු ලැබූ අතර, ඉන් අනතුරුව ඉහළ ආසාදන අනුපාතයක් ඇති වෙනත් ප්රදේශවලටද එම සංචරණ සීමා ව්‍යාප්ත කළේය.
ජාවා සහ බාලිවල සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීම අධීක්ෂණය කළ කැබිනට් ඇමති ලූහුට් පණ්ඩජයිටන් අද (09දා) පැවසුවේ, "අප වෙහෙස මහන්සි වී ලබාගත් දියුණුව අපතේ යාමට ඉඩ නොතබන්න" යනුවෙනි.
ළමයින් සහ වැඩිහිටියන් හැර එන්නත් ලබාගත් පුද්ගලයන් සඳහා පමණක් 25%ක ධාරිතාවකින් වෙළඳසැල් නැවත විවෘත කරන අතර, එසේ වෙළෙඳ සැල්වලට ඇතුළු වීමේදී ඩිජිටල් යෙදුමක් භාවිතයෙන් මිනිසුන් තම එන්නත් කිරීමේ සාක්ෂි පෙන්විය යුතු බව ලූහුට් පැවසීය.
කෙසේ වෙතත් ජාවා සහ බාලිවලින් පිටත ප්‍රදේශවල සීමා කිරීම් අගෝස්තු 23දා දක්වා දීර්ඝ කෙරෙනු ඇති අතර, එම ප්‍රදේශවල ආසාදිතයන් 1.2%කින් ඉහළ ගොස් ඇත. එහිදී ජාවා සහ බාලි ආසාදන මේ මාසයේදී 27%කින් අඩු විය.
ජකර්තා හි ජූලි 12 වැනි දින ආසාදිතයන් 14,619ක් වාර්තා වූ නමුත් අද (09දා) ආසාදන 727ක් පමණක් වාර්තා වූ බව රජයේ දත්ත පෙන්වා දෙයි. ඒ අනුව නගරයේ රෝහල්වල ඇඳන් භාවිත අනුපාතය 90% සිට 39% දක්වා අඩු විය.
නමුදු ඉන්දියාවේ ප්‍රථමයෙන් හඳුනා ගත් ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම නිසා එරට දුර්වල සෞඛ්‍ය සේවා පද්ධති සහිත ප්‍රදේශ පීඩාවට පත් විය. සුලාවෙසි දූපතේ ගොරොන්ටලෝ හි දැඩි සත්කාර ඇඳන් භාවිත අනුපාතය 90%ක් ඉක්මවා ඇති අතර, සුමත්‍රා දූපතේ කලාප තුනක මට්ටම 80%ට වඩා වැඩි බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.