ජර්මනියේ දකුණුදිග ප්‍රදේශයේ ගොවිපලක් ආශ්‍රිතව නව කොරෝනා වෛරසය ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් එම ගොවිපල ආශ්රිත ප්‍රදේශය අගුලු දමා 500ක් පමණ දෙනා නිරෝධායනයට යොමුකර තිබේ.
ජර්මානු සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ මේ වනවිට අස්වැන්න නෙළන සේවකයන් 174 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි. මේ සමග වෛරසය ආශ්රිත දැඩි බලපෑමක් වළක්වා ගැනීම සඳහා මෙම අගුලු දැමීම සිදුකළ බවද සඳහන් කරයි.
ඒ අනුව ගොවිපළ ප්‍රදේශයේ කිසිවෙකු පිටව නොයන බව තහවුරු කරගැනීම සඳහා කුලී ආරක්ෂක සේවයක්ද යොදවා ඇති බව ඩිංගොල්ෆින්-ලන්ඩෝ කලාපයේ නිලධාරීන් සඳහන් කළේය.
ජර්මනියෙන් මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 206,667ක් වාර්තා වන අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 9,124කි.