ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුගේ හිසට ටයරයක් අත්හැරීමේ සිද්ධියට සම්බන්ධ එම සරසවියේ සිසුන් පස් දෙනෙක් ප්‍රශ්න කිරීම සඳහා මිරිහාන පොලීසිය, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය සහ විශේෂ විමර්ශන අංශය විසින් එක්ව සිදුකළ විමර්ශනයකදී පොලිස් භාරයට ගෙන තිබේ.
පොලීසියේ නිලධාරියෙකු සඳහන් කලේ ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ පසිඳු හිරුෂාන් සිසුවාගේ හිස මතට ටයරය අත්හැරිය ජ්‍යෙෂ්ඨ සිසුවාද සිටින බවයි.
පොලිස් භාරයට ගනු ලැබූ පිරිසගෙන් මේ වන විට පොලීසිය දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිගටම විමර්ශන කටයුතු සිදු කරන බවත් සඳහන් වෙයි.
ඉකුත් 05 වැනිදා ජයවර්ධනපුර සරසවි භූමියේදී පැවැත්වූ උත්සවයක් අතරතුරදී මුහුණ දුන් අනතුරක් නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර පසිඳු හිරුෂාන් සිසුවා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටියි.