මීට වසර 10කට පෙර රික්ටර් පරිමාණ 9.0ක දරුණු භූමිකම්පාවක් සිදු වූ ස්ථානය වන ෆුකුෂිමා සිට සැතපුම් 65ක් (කි.මී. 104ක්) දුරින් පිහිටි ඉෂිනොමාකි වෙරළට ඔබ්බෙන් රික්ටර් පරිමාණ 7.0ක ප්‍රබල භූමිකම්පාවක් ඊයේ (20දා) ජපානයට බලපා තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයෙහි නවතම තොරතුරුවලින් පෙනී යන්නේ භූමිකම්පාව කිලෝමීටර් 54ක් (සැතපුම් 34ක්) ගැඹුරින් සිදුව ඇති බවය.
මුල් අවස්ථාවේදී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ පසුව එය මුහුදු මට්ටමේ සුළු වෙනස්කම් පිළිබඳ සුනාමි පුරෝකථනයකට පහත හෙළා තිබුණි. එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පවසන්නේ ජපාන භූමිකම්පාව හා සම්බන්ධ සුනාමි අනතුරු ඇඟවීමක්, උපදේශනයක් හෝ තර්ජනයක් නොමැති බවයි.
ඉෂිනෝමාකි පිහිටා ඇති මියාගි අධිකරණ බල ප්‍රදේශයේ ගිනි නිවන භටයින් භූමිකම්පාවෙන් කිසිදු හානියක් වාර්තා කර නොමැති අතර නැගෙනහිර හා ඊසානදිග ජපානයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සුරක්ෂිත බව ජපාන මාධ්‍ය පවසයි.
මෙම ප්‍රදේශය මීට දශකයකට පෙර ජපානය මාරාන්තික භූමිකම්පාවක් අත්විඳි අතර එමගින් රටේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය වාර්තා විය. 20,000කට අධික පිරිසක් මියගොස් හෝ අතුරුදහන් වූ අතර අඩි 30ක රළ සහිත සුනාමියක් හේතුවෙන් ප්‍රදේශයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක කිහිපයකට හානි සිදුවිය.
එම ප්‍රදේශයෙන් 100,000කට අධික පිරිසක් ඉවත් කෙරුණු අතර, බලධාරීන් විසින් ඒ ප්‍රදේශය පිරිසිදු කිරීම සඳහා පසුගිය වසර 10ක කාලය ගත කර ඇත. කෙසේ වෙතත්, විශේෂඥයන් පවසන පරිදි එය සම්පූර්ණ කිරීමට දශක ගණනාවක් ගතවනු ඇත.
මේ අතර පසුගිය මාසයේ ජපානයට බලපෑ ප්‍රබල භූමිකම්පාවක් 2011 සිදුවීමේ පසු කම්පනයක් බව ජාතික කාලගුණ විද්‍යා ඒජන්සිය පවසා තිබුණි.