ජපානයේ සිට රත්නපුර ප්රදේශයේ පදිංචිකරුවෙකුගේ නමට නැව් මගින් එවා තිබූ භාණ්ඩ පෙට්ටි තොගයක් අතර පිස්තෝලයක් සහ උණ්ඩ 06 තිබී රේගු ගමන් භාණ්ඩ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් , කොළඹ දෙමටගොඩ සිලෝන් සිෂිං ලයින්ස් බන්ධිත ගුදමේ දී ඊයේ දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව රේගු අධ්යක්ෂ ජනරාල් , විශ්රාමික මේජර් ජනරාල් විජිත රවිප්රිය මහතා පැවසීය .
මෙම පිස්තෝලය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත " කෝල්ට් "වර්ගයේ එකකි . මෙහි උණ්ඩ පිටවන බැරලය ගලවා ඉවත් කර තිබේ.
මෙම පුද්ගලයාගේ නමට පෙට්ටි 16 ක් එවා තිබූ අතර , මෙම පිස්තෝයේ ගලවා ඉවත් කර තිබූ බැරලය සොයා , මෙම පෙට්ටි සියල්ලම රේගු නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවකට ලක් කර තිබේ.
මෙම භාණ්ඩ තොගය රේගුවෙන් මුදා ගෙන යෑමට රත්නපුර ප්රදේශයේ පදිංචි 55 හැවිරිදි මෙම පුද්ගලයා අද දින පස්වරුවේ දෙමටගොඩ ගමන් භාණ්ඩ අංශයට පැමිණ තිබූ අතර , ඔහුත් , මෙම පිස්තෝලය සහ උණ්ඩ තොගයත් වැඩිදුර විමර්ශන කටයුතු සදහා දෙමටගොඩ පොලීසිය වෙත භාර දී තිබේ .
මෙම පුද්ගලයා වෙත එවා තිබූ භාණ්ඩ පෙට්ටි තවදුරටත් විශේෂ ආරක්ෂාව යටතේ මෙම බන්ධිත ගුදමේ තැන්පත් කර තැබීමට ද රේගු නිලධාරීන් පියවර ගෙන තිබේ .
මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්යක්ෂ ජනරාල් , විශ්රාමික මේජර් ජනරාල් විජිත රවිප්රිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ රේගු අධ්යක්ෂ නියාස් , රේගු අධිකාරී තිළිණි පෙරේරා , සහකාර රේගු අධිකාරීවරුන් වන එච්.පී.ඒ.නයනජිත් , සසංක ලියනාරච්චි , ඩිලානි සිරිමාන්න සහ ගාස්තු නිලධාරී ටී.යෝගනාදන් යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති .