අමිත් මධුරංග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන්ස් පොලිස්පතිවරයා සහ ශ්‍රී ලංකා පොලීසිය ඇල්මැරුණු ස්වභාවයකින් කටයුතු කරන බැවින් පොලිස්පති පූජිත් ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන මහත්වරුන්ට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවට අද(17දා) පැමිණිලි කළ බව පිවිතුරු හෙළ උරුමයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා පැවසීය.
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා තම ධුරයේ කාර්යාංශ කර්තව්‍යයන් නියමිත පරිදි ඉටු නොකිරීම සහ පැහැර හැරීම සම්බන්ධයෙන් 2002 අංක 5 දරණ නිලධාරීන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටි පනත යටතේ නිර්දේශයක් ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවද දිසානායක මහතා කීය.
රාජ්‍ය විරෝධී වරදක්, සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 114 සහ 115 වගන්තීන් යටතේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා චෝදනා ලැබ සිටින බවත්, සක්‍රිය පොලිස් සේවයේ නියුක්තව සිටින මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කර විමර්ශන කටයුතුවලට අත පෙවීමට ඉඩ තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.