ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර පැවැත්වෙන සාකච්ඡාවලදී යම් යම් එකඟතා ඇතිවෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
සන්ධානගත වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවත්, සන්ධානගත වීමේදී සෑමවිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය සුරක්ෂිත වන ආකාරයට කටයුතු කරන බවත් දිසානායක මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියේය.
එසේම ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීමේ තීරණාත්මක බලය හිමිව තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවත්, මෙරටේ අති බහුතරයක් ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ රට දිනවන වැඩපිළිවෙළක් බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා ඉදිරියේදී ඇමෙරිකාවට යටවෙන කෙනෙක්ද නැද්ද යන්න රටට පොරොන්දුවක් ලබාදිය යුතු බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෝපා ගිවිසුම සහ ඇක්සා ගිවිසුමට එරෙහිව කටයුතු කරන බවත් දිසානායක මහතා කියා සිටියේය.
තවද අද මෙම ගිවිසුම්වලට එරෙහිව කටයුතු කරන කණ්ඩායම බලයට පැමිණි පසු කටයුතු කරන ආකාරය පිළිබඳ පොරොන්දුවක් ලබාදිය යුතු බවද, විපක්ෂයේ සිටියදී පවසන කරුණු බලය ලැබුණු පසු සිදුනොකරන බැවින් දේශපාලනයට සේම දේශපාලනඥයින්ටද විවේචන එල්ල වී තිබෙන බවද, එබැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස රට දිනවන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද අද (08දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිම පක්ෂයකට දියකර හරින්න ඉඩ දෙන්නේ නෑ
VIDEO