ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ උණුසුම් තරගයක් පැවති අවසන් ප්‍රාන්ත කිහිපය තුළ මේ වනවිට වැඩි ඡන්ද ප්‍රමාණයක් ජෝ බයිඩන් වෙත හිමිව තිබුණද, තවදුරටත් ඡන්ද ගණන් කිරීම සිදුවන බැවින් අවසාන ජයග්‍රාහකයා තහවුරු කිරීමට තවත් බලා සිටීමට සිදුවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
පෙන්සිල්වේනියා සහ ජෝර්ජියා යන රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් වැඩි බලාපොරාත්තු තබා තිබූ ප්‍රාන්තවල ඉදිරියට පැමිණීමට ඩිමොක්රැටික් අපේක්ෂක බයිඩන් මේ වනවිට සමත්ව තිබීම ඔහුගේ ජනාධිපතිවරණ සිහිනය තවදුරටත් සමීප කර ඇත. එමෙන්ම තවමත් ඡන්ද ගණන් කිරීම අවසන් නොමැති නෙවාඩා සහ ඇරිසෝනා යන ප්‍රාන්තවලද බයිඩන් ඉදිරියෙන් සිටියි. ඒ අනුව ඔහු තව නොබෝ වේලාවකින් රට අමතනු ඇති බවටද බොහෝ මාධ්‍යවල කතාබහ වුවද, සියලු ඡන්ද ගණන් කරමින් තත්ත්වය තහවුරු වනතුරු ඔහුගේ ඇමතීමක් සිදු නොවනු ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඊයේ දිනයේදී කිසිදු ට්විටර් පණිවුඩයක් හෝ නිකුත් නොකළ බයිඩන් අවසන් වරට ඇමෙරිකානුවන්ට පවසා තිබුණේ ඡන්දය ගණන් කිරීම දිගටම සිදුවන බැවින් සන්සුන්ව හා ඉවසීමෙන් යුතුව සිටින ලෙසය.
මේ වනවිට ඇමෙරිකානු මැතිවරණයේ ඡන්ද සමූහ (electoral college) 20ක් හිමි පෙන්සිල්වේනියා ප්‍රාන්තය තුළ 96%ක් ඡන්ද ගණන් කර අවසන්ව ඇති අතර, එහිදී බයිඩන්ට ඡන්ද 3,323,995ක් (49.5%) සහ ට්‍රම්ප්ට ඡන්ද 3,304,504ක් (49.2%) හිමිව තිබේ. ඒ අනුව වැඩි ඡන්ද 19,491කින් බයිඩන් ඉදිරියෙන් සිටියි.
ඡන්ද සමූහ (electoral college) 16ක් හිමි ජෝර්ජියා ප්‍රාන්තයේ 98%ක් ඉක්මවා ඡන්ද ගණන් කර අවසන් අතර, එහිදී බයිඩන්ට ඡන්ද 2,456,716ක් (49.4%) සහ ට්‍රම්ප්ට ඡන්ද 2,452,677ක් (49.3%) හිමිව තිබේ. ඒ අනුව වැඩි ඡන්ද 4,039ක් ලබා බයිඩන් ඉදිරියට පැමිණ ඇත.
එසේම ඡන්ද සමූහ (electoral college) 11ක් හිමි ඇරිසෝනා ප්‍රාන්තයේ 94%ක් ඡන්ද ගණන් කර අවසන් අතර, එහි බයිඩන්ට ඡන්ද 1,572,346ක් (49.8%) සහ ට්‍රම්ප්ට ඡන්ද 1,535,511ක් (48.7%) හිමිව තිබේ. ඒ අනුව වැඩි ඡන්ද 36,835ක් ලැබූ බයිඩන් එහිද ඉදිරියෙන් සිටියි.
ඡන්ද සමූහ (electoral college) 6ක් හිමි නෙවාඩා ප්‍රාන්තයේ 93%ක් ඡන්ද ගණන් කර අවසන් අතර, එහි බයිඩන් ඡන්ද 632,558ක් (49.8%) සහ ට්‍රම්ප් 609,901ක් (48.0%) හිමි කරගෙන තිබේ. ඒ අනුව වැඩි ඡන්ද 22,657ක් ලබා බයිඩන් නෙවාඩා ප්‍රාන්තයේද ඉදිරියට පැමිණ ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට තේරීපත්වීම සඳහා අවශ්‍ය කරන ඡන්ද සමූහ (electoral college) 270 අතරින් මේ වනවිට ජෝ බයිඩන් ඡන්ද සමූහ 253ක් හිමි කරගෙන ඇති අතර, ට්‍රම්ප්ට හිමි ඇත්තේ ඡන්ද සමූහ 214ක් පමණි. ඉහත ප්‍රාන්තවලින් ඡන්ද සමූහ (electoral college) 20ක් හිමි පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය පමණක් බයිඩන්ට ජනපති සටන ජයගැනීමට ප්‍රමාණවත් වෙයි. කෙසේ වෙතත් ඔහු මේ වනවිට එම ප්‍රාන්ත හතරේම ඉදිරියට පැමිණ ඇති බැවින් ඔහුගේ ජනපතිවරණ මාවත තවත් පහසු වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.