ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිතුමාගේ ප්රශ්නයේදී ජනවරමෙන් පත්වුණු ජනපති ජනතා කැමැත්ත ඇති තීරණයක් ගනීවී යයි අපේක්ෂා කරන බවත් ජිනීවා මානව හිමිකම් සමුළුව යන අවස්ථාවේදී උණු උණුවේම මේ ප්රශ්නය එළියට ඒම එතරම් හොද දෙයක් නොවන බව තමන් විශ්වාස කරන බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා අද (16දා) කීවේය.
අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ වීරක්කොඩි මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය.
“ජනතාවගේ කැමැත්තෙන් පත් කෙරුණු ජනාධිපතිතුමාගේ කැමැත්ත ඇතිවයි ඇමතිවරුන් පත් කෙරුණේ. ඒ නිසා යම් ඇමතිවරයෙකු අතින් යම් වරදක්වූ විට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ක්‍රියා කරන්නේ ජනතාවගේ කැමත්ත අනුව බව අපි විශ්වාස කරනවා.
මොකද ජනතාවට එක නීතියක් මැතිඇමතිවරුන්ට එක නීතියක් වෙන්න බැහැ. රටේ නීතිය කාටත් එක සමාන විය යුතුයි. නීතියේ ආධිපත්‍ය සුරකිනකම් ලංකාවට ලොකු ගමනක් යන්න බැහැ.
දේශපාලකයින් ගැන මේ වනවිට ජනතාව අතර තියෙන්නේ අසුබවාදී මතයක්. එහෙම වෙලාවක දේශපාලනඥයින් වන අපි බොහෝම පරිස්සම් ඇතිවයි වැඩ කරන්න ඕන.ජනතා විශ්වාසය පලුදු කර ගත්තොත් අපිටත් ගමනක් නැහැ.
මේ අවස්ථාවේදී මේ ප්රශ්නයේදී මම ඉන්නේ නතාවගේ පැත්තේයි. ජනතාවගේ කැමැත්ත පැත්තේයි. මොකද අපි පත් කරලා තියෙන්නේ ජනතාව. ඒ රටට ගමට අපි වැඩක් කරාවි කියලා ලොකු විශ්වාසයකින්. ඒ ජනතා විශ්වාසය බිදීම එක අතකින් ලොකු පවක්”