මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව කල්පනා කළ යුත්තේ දිනන්නේ කවුද කියා නොව දිනවිය යුත්තේ කවුද කියා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
මහනුවර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කේ.ඩී. ලාල්කාන්ත මහතා ,
“1982 ජනාධිපතිවරණෙයන් පස්සේ ලංකාවේ පැවැත්වෙන සුවිශේෂතම ජනාධිපතිවරණය බවට මෙම මැතිවරණය පත් වෙලා තියෙනවා. 1982 ජනාධිපතිවරණයේදී එක්තරා ආකාරයකට අපේක්ෂකයින් තුන් දෙනෙකු පිළිබඳව සාකච්ඡාවක් තිබුණා. ජේ.ආර්. රෝහණ විජේවීර කොබ්බෑකඩුව. තවත් අපේක්ෂකයින් නොහිටියා නොව හිටියා. නමුත් මේ තුන්දෙනා ගැන කතා වුණා. ඉන් පස්සේ තුන් කොන් සටනක් ඉදිරියට ඇවිත් තියෙන අවස්ථාව මෙයයි. වෙනදානම් ඡන්දයට දින කිහිපයක් තිබියදී මනින්න පුළුවන් කමක් තිබුණා. දිනන්නේ කවුද කියලා.මේ මැතිවරණයේදී මේ වන විටත් ඒක මැන ගැනීමේ අපහසුතාවයක් තියෙනවා.
මෙවර මැතිවරණයේ තිබෙන තුන් කොන් සටනේ ප්‍රබලත්වය අනුව විශ්වාසයක් තියෙනවා කිසිම කෙනෙකුට සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගත නොහැකියි කියලා. මේ වන විට දේශපාලන අදහසක් ගොඩනැගිල තියෙනවා වැඩියෙන්ම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයාට සියයට 50 ක් ලබා ගන්න බැරි වෙයි කියලා. ඒ පදනම මත දෙවැනි මනාපයට වටිනාකමක් නිර්මාණය වෙමින් එනවා. මේ ඡන්දය ආරම්භයේදී එවැනි තත්ත්වයක් මතු වුණේ නෑ. නමුත් ප්‍රබල තුන් කොන් සටනක් තිබෙන නිසා අද එවැනි තත්ත්වයකට යොමු වෙලා තියෙනවා.
අවුරුදු 71 ක් මේ රට පාලනය කරපු අයට මේ රට ගොඩනගන්න බෑ. ඒ අය නැවත ඇවිත් තමන්ට ඡන්දය දෙන්න කියල ඉල්ලන්න වීම ගැන ලැජ්ජා වෙන්නත් ඕන. අවුරුදු 71ක් මාරුවෙන් මාරුවට රට පාලනය කරල ඇවිත් නැවතත් කියනවානම් රට ගොඩනගනවා කියලා ඒකේ විද්‍යානුකූල තර්කයක් නෑ. අද මේ රට හැම පැත්තෙන්ම කඩා වැටිල කියල මේ රටේ හිතන පතන ජනතාව දන්නවා. මේ තත්ත්වය තුළ තමයි ජාතික ජන බලවේගය ගොඩ නගන්නේ. සංවිධනා 32 ක සහභාගිත්වයෙන් මේ ජාතික ජන බලවේගය ගොඩ නැගෙන්නේ මේ 71 වසරක අසාර්ථක දේශපාලනය වෙනස් කරන්නයි. මේ දෙපැත්තම එපා වුණ ජනතාවක් මේ රටේ ඉන්නවා.
නමුත් ජයග්‍රාහී තුන් වන පාර්ශවයක් හඳුනා ගන්න මින් පෙර අවස්ථාවක් ලැබුණේ නෑ .ජනතා විමුක්ති පෙරමුණ හැටියටඅපි ගිහින් අපි තමයි තුන් වන බලවේගය කියලා කිව්වත් ඡන්දය දීමේදී සියයට 6 – 10 ත් අතර ප්‍රමාණයක් තමයි ලැබුණේ. දෙමළ සහ මුස්ලිම් සමාජයන් තුළත් නව ප්රවණතාවයන් ගොඩනැගී ගෙන එනවා. එක්සත් ජාතික පක්ෂයේත් පොදුජන පෙරමුණේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මුදුන ප්‍රතික්ෂේප කරන තත්ත්වයට ජනතාව පත් වෙලා ඉන්නවා. නමුත් ඔවුන්ට ඕන වුණා තමන් ඡන්දය පාවිච්චි කරන කොට දිනන්න පුළුවන් ව්‍යාපාරයකට ඡන්දය පාවිච්චි කරන්න. ඒ දිනන්න පුළුවන් බලවේගය තමයි අපි මේ ජාතික ජන වේගය ලෙස ගොඩනගල ජනතාව ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. ජනතාවට අවස්ථාවක් තියෙනවා අවුරුචු 71 ක ගතානුගතික යල්පැනගිය දේශපාලනය පසෙකලා රට ගොඩ නගන්න සමත් වැඩපිළිවෙලක් සහ නායකත්වයක් සහිත ජාතික ජන බලවේගයට ඡන්දය පාවිච්චි කරන්න. එජාපයට පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන්න අය වෙනස් වෙන්නේ නැත්නම් මේ රට වෙනස් කරන්න බෑ. අවුරුදු 71 ක් පැවැති දේශපාලන ක්‍රමය වෙනස් කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් ඔබ හමුවට ඇවිත් තියෙනවා එයට ඡන්දය පාවිච්චි කරන ලෙසයි අපි ඉල්ලන්නේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.