මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට නොදෙවැනි තීන්දුවක් මෙවර මහා මැතිවරණයේදි විපක්ෂයට ජනතාධිකරණයෙන් ලබාදෙන බවත් කිසිඳු ගැටලුවක් නොමැතිව මෙවර මැතිවරණයෙන් ජනපති ගෝඨාභය මහතාට තුනෙන් දෙකක අතිවිශිෂ්ඨ ජයක් ලැබෙන බවත් ගාලු දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු දකුණු පළාත් සභා මහ ඇමති ෂාන් විජයලාල් මහතා පවසයි.
රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ගාලු දිශාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම වෙනුවෙන් අම්බලන්ගොඩ පොල්වත්ත පිහිටි ඒ මහතාගේ නිවසේ අද (3දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ෂාන් විජයලාල් මහතා මෙසේද කීවේය.
“අපි හැමදාම දේශපාලනයේ නිරතව සිටින අයයි. මැතිවරණය කියන්නේ අපිට තවත් එක් කඩඉමක් විතරයි. ඒ නිසා මහ මැතිවරණය කියා අමුතුවෙන් සූදානම් වෙන්න දෙයක් නැහැ.එදා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මේ මැතිවරණයත් ඉතා ඉහළින් ජය ගන්නවා.
පොදු ජන පෙරමුණ සමග යම් යම් මතවාදි ගැටුම් තිබුණත් අපි දෙගොල්ලෝම එකතුවෙලා පොදු අරමුණක් ඔස්සේ යනවා. අපේ පොදු අරමුණ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදීමයි.”
කරන්දෙණිය සුසිල් ප්‍රියන්ත