රටේ විදේශ ප්‍රතිපත්තිය පිළිබද වාද විවාද තිබිය හැකි වුවද, ජාත්‍යන්තර වශයෙන් රට නියෝජනය කරන සෑම මොහොතකම සෑම දෙනාම එක්සිත්ව එක හඩකින් ක්‍රියාකිරීම ජාතික වගකීමක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.
අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව ඇතුළු බොහෝ රටවල විවිධ අභ්‍යන්තර මතභේද තිබුණද ජාත්‍යන්තර වේදිකාවේදී එකම එකම හඩකින් එකම ජාතියක් ලෙස තම රට නියෝජනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඒ අනුව රටේ විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තර වශයෙන් නියෝජනයේදී එක් රටක් ,එක් ජාතියක් ලෙස සියලු පාර්ශ්වයන් එක්ව ක්‍රියාකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලානාදන් මහතා අවසන් රැස්වීමේදී මතුකළ ඉන්දියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධ කාරණාවේ ප්‍රගතිය පිළිබදව මෙහිදී කමිටුවේ අවධානය යොමුවිය. ඉන්දියාවේ ශ්‍රී ලාංකික සරණාගතයින් සඳහා කඳවුරු ගණනාවක් ඇති බවත් සරණාගතයින් 50,000 කට වැඩි පිරිසක් තමිල්නාඩුවේ කඳවුරුවල සිටින බවත් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.මෙම කඳවුරුවලින් පිටත ද සරණාගතයින් රැදී සිටින බවත්, සැලකිය යුතු සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව වෙත ආපසු ගෙන්වා ගැනීමට මේවන විට පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.