ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා, අඬලා වැඩක් නැති බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ, මිහින්තලයේ මහානායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා පුදබිම ආශ්‍රිතව සිදුකිරිමට නියමිත නවීකරණ ක්‍රියාවලියේ මූලික වටයේ සාකච්ඡාවකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
"එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට සුදුසුකම් සහිත පුද්ගලයින් කිහිපදෙනෙක්ම සිටිනවා. නමුත් පක්ෂය විසින් තවමත් නිවැරදි පුද්ගලයා නම් කරලා නැහැ. අපිට අවශ්‍ය වන්නේ පරිණතභාවයෙන් යුත් පුද්ගලයෙක් ජනාධිපති ධූරය සදහා පත් කිරීමටයි. විශේෂයෙන්ම මෙම ධූරය වෙනුවෙන් අධ්‍යාපන සුදුසුකම් නම් අත්‍යාවශයයි.
ඡන්ද කාලෙට විතරක් ජනතාව ගැන හිතලා අඩලා වැඩක් නැහැ. රෑ වැටුණ වලේ දවල් වැටෙන්න නම් අපි කැමති නැහැ. එක්සත් ජාතික පක්ෂ උපනායක වශයෙන් මම වගකීමෙන් යුතුව කියන්නේ, තවමත් අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා නම් කරලා නැහැ. දේශපාලනඥයන් වශයෙන් නිතරම අපි නිවැරදි විය යුතුයි. අපි කරන සියලු දේ ජනතාවට හිතකර නොවන්න පුළුවන්. නමුත් අනිත් පක්ෂ වලට වඩා අපි ජනතාව ගැන හිතලා කටයුතු කරන පක්ෂයක්.
මේ රට සිංහල බෞද්ධ රටක් . නමුත් සියලු ජාතීන්, සියලු ආගම් වලට ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය මත ජීවත්වීමේ අයිතිය අපි සුරක්ෂිත කල යුතුයි. ප්‍රාදේශීය මට්ටමෙන් කාණූ, බෝක්කු ගැන කතා කරන්න පමණක් නොවෙයි, රටේ ආර්ථිකය, ජාතික සංවර්ධනය, ව්‍යාපාර සංවර්ධනය, විරැකියාවට පිළීයම් සෙවීම ජාතික ආගමික, සහජීවනය, අපනයන රටාව ආදිය පිළීබදව සිතන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන්, මේ රට ජාත්‍යන්තරයට ගෙනයන්න පුළුවන් ජාතික මට්ටමේ පුද්ගලයෙක් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි.
දේශපාලනය කියන්නේ දිනකට දෙකකට සීමා වෙලා කළ යුතු දෙයක් නෙමෙයි. දේශපාලන පක්ෂ දෛනිකව ක්‍රියාකාරි විය යුතුයි. ඒ තුළින් ත්‍රස්තවාදය , අන්තවාදය සම්පූර්ණයෙන් නැති කොට සිංහල, දෙමළ , මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලු ජාතීන් එකමුතුව සමගිව එකම රටක් වශයෙන් ජීවත්වීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි.
යම් යම් පිරිස් කියනවා පසුගිය අප්‍රේල් 21 සිදුවු බෝම්බ ප්‍රහාරය ආණ්ඩුව සිය වාසියට හරවාගෙන කියලා. නමුත් එම සිද්ධිය අපි කවුරුත් දන්නා පරිදි අනපේක්ෂිත සිද්ධියක්. සුළු පිරිසක් එකතු වෙලා අන්තවාදීව කටයුතු කරලා මුලු රටක්ම විනාශ කළා. එවැනි තත්ත්වයක් ආයෙ කවදාවත් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරිම ආණ්ඩුව සතු කාර්යයක්. ඒ නිසා අපි එම කටයුත්ත අනිවාර්යයෙන්ම කරනවා. පාස්කු ඉරිදා ඇති වූ ප්‍රහාරයත් සමග එක් අයෙකුට චෝදනා එල්ල වුණත්, මුස්ලිම් මන්ත්‍රීවරුන් සියලුදෙනා ඉල්ලා අස්වුණේ පරීක්ෂණ කටයුතු පහසුකරන්න. එම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලූ සී.අයි.ඩී. වාර්තාව පසුගියදා නිකුත් වුණා. එම වාතාවෙන් ඔප්පු වුණා එසේ ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් චෝදනා නොමැති බව. ත්රස්තවාදීන් සුළු පිරිසක් සිදුකල විනාශකාරී කටයුත්තකට අනෙක් අයටයි වන්දි ගෙවන්න සිද්ධ වුණේ " යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.